Archi චැට් (විස්ස) - ඉර එළිය සහ ආර්කිටෙක්චර්
"ආර්කිටෙක්චර් හරහා ගොඩක් දේවල් කියන්න ඕනෙ කියල මම විශ්වාස කරන්නේ නෑ. නිහඬව හිරු එළියටත් සුළඟටත් සාවධානව පවතින්න දීම ප්‍රමාණවත්."
- ටඩාඔ අන්ඩො
ආලෝකය කියන්නේ ආර්කිටෙක්චර් සමඟ සෘජුවම සම්බන්ධ වෙන දෙයක්. ස්වාභාවික ආලෝකයෙන් තොරව ආර්කිටෙක්චර්වලට පැවැත්මක් නැහැ. ගොඩනැගිල්ලක ආකෘතිය වගේම අභ්‍යන්තර අවකාශවල ස්වභාවයත් තීරණය කරන ප්‍රධානම සාධකයක් තමයි ස්වාභාවික හිරු එළිය. විවධ ගොඩනැගිලිවල භාවිතය අනුව ඒ ඒ ගොඩනැගිල්ල තුළට ලබා ගත යුතු ආලෝක ප්‍රමාණය වෙනස් වෙනවා වුණත්, ස්වාභාවික හිරු එළිය ප්‍රමාණවත් පරිදි නොවැටෙන අවකාශ තුළ, අඳුරු, ගුප්ත, දූවිලි සහිත, ජීවත් වීමට ප්‍රියමනාප නොවන තත්වයක් ඇති වෙන එක රහසක් නෙමෙයි.
යම්කිසි ගොඩනැගිල්ලක් ඉදිකිරීම කියන්නෙම විවිධ අවශ්‍යතා සඳහා ස්වාභාවික පරිසරයෙන් අවකාශයක් හෝ අවකාශ කිහිපයක් වෙන්කර ගැනීමක්. එමගින් ස්වාභාවිකව පැවතුණු සියලුම තත්වයන් වෙනස් වෙනවා. නමුත් ආර්කිටෙක්චර් කියන්නේ ඒ ඒ අවකාශ තුළට ස්වාභාවික පරිසරයේ අංග පාලනය කරමින් ලබාගැනීම කියලා කියන්නත් පුළුවන්. ස්වාභාවික ආලෝකය සහ ස්වාභාවික වාතාශ්‍රය ඒ අතරින් ඉතාම වැදගත්. ඒ වගේම අවට පරිසරයේ දර්ශනය, අව්ව, වැස්ස, දහවල, රාත්‍රිය පිළිබඳව අදහසක් ලබාගැනීමට, විඳීමට, අවකාශයක් තුළ සිටින්නෙකුට ඉඩ ලබාදීමත් ආර්කිටෙක්චර්වල වැදගත් කොටසක්. අපි ආර්කිටෙක්චර් විෂයේදී මේක ඇතුළත සහ පිටත අතර අන්තර් සම්බන්ධතාව ගොඩනැගීම කියලා හඳුන්වනවා.
ජනෙල්, ෆ්‍රෙන්ච් ජනෙල්, මැද මිදුල්, වීදුරු ගඩොල්, ස්ථායී ජනෙල්, ග්‍රිල් වගේ ගොඩක් අනු අංග ආර්කිටෙක්චර්වලට එකතුවෙන්නේ මෙන්න මේ ඇතුළත සහ පිටත සම්බන්ධය ගොඩ නැගීම සඳහායි. ගොඩනැගිල්ලක් තුළට එන ස්වාභාවික ආලෝකය අවශ්‍ය පරිදි පාලනය කිරීම සඳහා, ජනෙල් තිර, බ්ලයින්ඩ්ස්, පර්ගොලා, ලූවර් ජනෙල් පියන් වැනි විවිධ උපක්‍රම භාවිතා වෙනවා. සෞම්‍ය, ප්‍රියමනාප ස්වභාවයක් අවකාශයක් තුළ නිර්මාණය කිරීම සඳහා මේ දේවල් නිර්මාණාත්මකව භාවිත කරන්න පුළුවන්.
ශ්‍රී ලංකාව වැනි නිවර්තන කලාපීය රටවල්වලට හිරු රශ්මිය විවිධ කාලවලදී වෙනස් විදිවලට බලපෑවත්, සාමාන්‍යයෙන් අවුරුද්දේ සෑම කාලයකම අධික උණුසුමක් ලැබෙන්න තියෙන අවස්ථා වැඩියි. ඒ නිසා ස්වාභාවික ආලෝකය ගොඩනැගිල්ලක් තුළට ලබාගන්නවාත් සමගම, අධික රශ්මිය ඇතුළතට පැමිණීම සීමා කිරීමටත් අවශ්‍යයි. ගොඩක් පැරණි ගොඩනැගිලිවල මේ තත්වය ඉතාම නිර්මාණශීලී විදිහට පාලනය කරපු අවස්ථා දකින්න පුළුවන්.
ඒ දේශගුණික පිහිටීම නිසා නැගෙනහිර සහ බටහිර දිශාවන්ට විශාල ජනෙල් සහ වීදුරු පදාසයන් අවමව පිහිටන ලෙස ගොඩනැගිලි ස්ථානගත කිරීම තමයි නිවැරදිම ක්‍රමය. එමගින් හිරු ගමන් කරන දිශාව උදේ කාලයේදී නැගෙනහිර දිශාවෙනුත්, දවල් කාලයේදී බටහිර දිශාවෙනුත් පතිත වෙන දැඩි හිරු රශ්මිය ගොඩනැගිල්ලක් තුළට ඇතුළුවීම අවම කරගන්න පුළුවන්. එතනිනුත් මධ්‍යහ්නයෙන් පසු දවල් කාලයේදී පතිත වන හිරු රශ්මිය ප්‍රබල වන අතර එය උදෑසනට වඩා දීර්ඝ කාලයක් පවතින නිසා බටහිර දිශාවට යොදන විශාල ජනෙල් සහ වීදුරු පදාසයන් අවම කිරීම වැදගත්. පැරණි වාස්තු ශිල්පයට අනුව බටහිර දිශාවට ප්‍රධාන දොර පිහිටවීම අසුභ බව සඳහන් වන්නට ඇත්තේද මේ හේතුව නිසා වියයුතුයි යන්නයි මගේ අදහස. කොළඹ නගරය ආශ්‍රිතව බටහිර වෙරළ තීරයට මුහුණලා පවතින ගොඩනැගිලි බොහොමයක් බටහිර දෙසට මුහුණ ලා ඇති විශාල වීදුරු මුහුණත් නිසාවෙන් මේ උවදුරට මුහුණ දෙන බවත් එවැනි විශාල ගොඩනැගිලි ප්‍රමාණයක විවිධ ක්‍රමවේද මගින් එම මුහුණත් ආවරණය කිරීම නිසා එම ගොඩනැගිලිවල බාහිර අලංකාරයට හානි කරගෙන ඇති බවත් රහසක් නෙමෙයි.
ඒ වගේම අධික හිරු එළිය එම විශාල වීදුරු පදාස මත වැදී පරාවර්තනය වීම නගරයෙහි මාර්ග, පොදු ස්ථාන වැනි දෑවල මෙන්ම සමස්තයක් ලෙස නගරයෙහි උෂ්ණත්වය ඉහළ යාමටත් බලපානවා.
එත් කුඩා ඉඩම්වල නිර්මාණය කරන ගොඩනැගිලිවලදී මේ මූලික නැගෙනහිර සහ බටහිර අතට ගොඩනැගිලි පිහිටුවීම ඉතාම අපහසු වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට හැකිතරම් ස්වාභාවික වාතාශ්‍රය ලැබෙන විදිහට නිර්මාණය කිරීමත්, බටහිර දෙසට විශාල ජනෙල් අවම ලෙස භාවිත කිරීමත්, හැකි සෑම විටම මැද මිදුල් නිර්මාණය කර ඒ මගින් ගොඩනැගිල්ල තුළට ආලෝකය ලබා ගැනීමත් සිදුකරන්න පුළුවන්. ඒ වගේම තවත් ක්‍රමයක් තමයි, උද්‍යාන අලංකරණය. එය දැඩි අව් රශ්මිය පාලනය කිරීමට භාවිත කළ හැකි තවත් ක්‍රමයක්. ඒ ඒ ගස් හෝ වැල්වල ඝනත්වය, උස, පැතිරීම වැනි දේ අනුව ඒ ඒ අවශ්‍යතාව සඳහා ගස් වැල් සූක්ෂ්ම විදිහට පාවිච්චි කරන්න පුළුවන්.
ඉර එළිය සහ ආර්කිටෙක්චර් විෂයට අනුගත වෙන තවත් විචිත්‍රමය අදහසක් තමයි සෙවණැලි. බොහෝ වෙලාවට ගොඩනැගිලි නිර්මාණය කිරීමේදී අවකාශයක පොළව මත හෝ බිත්ති මත සෙවණැලි පැතිරෙන ආකාරය සවිඥානිකව කෙරෙන්නේ නැහැ. නමුත් දක්ෂ ආර්කිටෙක්ට් කෙනෙක් මේ වගේ අවස්ථා මග අරින්නේ නැහැ. යකඩ හෝ ලී ග්‍රිල් අතරින්, පර්ගොලා අතරින් හෝ ගසකින් මෙන්ම පොකුණක් ආශ්‍රිතව ඉර එළිය නිසා ඇඳෙන සෙවණැලි ඉතා නිර්මාණශීලී ලෙස එම ගොඩනැගිල්ලෙහි අලංකාරය සඳහා භාවිත කර ඇති අවස්ථා එමටයි.
ටඩාඕ අන්ඩෝ විසින් නිර්මාණය කරපු ආලෝකයේ දෙවොල, දිය පන්සල වගේ බොහොමයක් ගොඩනැගිලිත්, මීස් වැන්ඩර් රෝ විසින් නිර්මාණය කරපු බාසිලෝනා පැවිලියන් වගේ නිර්මාණ වගේම ලංකාවේ බාවා මහත්මයා විසින් නිර්මාණය කරපු, බ්ලූ වෝටර් හෝටලය සහ කන්දලම හෝටලය වුණත් ඉර එළිය සහ සෙවණැලි සමග ගනුදෙනුව මගින් හිත නිවා සනහන තරමේ අවකාශ නිර්මාණය කරපු ඉතා අගනා නිර්මාණ විදිහට ගන්න පුළුවන්.
©සුමුදු අතුකෝරල (27/ 07/2021)
Brilliantly said !!❤️❤️
ReplyDeleteLove it 😍
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete