Archi චැට් (විසි එක) මඳ පවන සහ ආර්කිටෙක්චර්
Archi චැට් (විසි එක)
මඳ පවන සහ ආර්කිටෙක්චර්
Ventilation නැත්නම් වාතාශ්‍රය කියන්නේ ආර්කිටෙක්චර්වල ඉතාම වැදගත්, ඇසට නොපෙනෙන වගේම අතට අහු නොවන දෙයක්. ස්වාභාවික ඉර එළිය වගේම ස්වභාවික වාතාශ්‍රය කියන එක නිර්මාණ ක්‍රියාවලියෙදි හිතටත් අහුනොවී තියෙන්න පුළුවන්. එහෙම වුණොත් ගොඩනැගිල්ලක අභ්‍යන්තරය තුළ ජීවිතයකට පවතින්න බැරි තරමට බරපතළ වෙන්න පුළුවන්.
අපි විවෘත ස්වාභාවික අවකාශය මොනයම් හෝ විදිහකින් සංවෘත කරනවා කියන්නේ, ඒ සංවෘත අවකාශයට ලැබිය යුතු ස්වාභාවික ආලෝකය සහ වාතාශ්‍රය කපා හැරීමයි. ඒ කියන්නේ ඒ සංවෘත අවකාශය තුළ සත්වයෙකුට පවතින්න නොහැකි තත්ත්වයක් ඇතිකිරීම. ඔන්න ඔතනදි තමයි වාතාශ්‍රය සහ ආලෝකය සඳහා අපි ජනෙල්, කවුළු හෝ දොරවල් ඒ සංවෘත අවකාශයෙන් පිටතට පිහිටුවන්නේ. සාමාන්‍ය රීතිය තමයි එවැනි කාමරයක හෝ අවකාශයක වර්ග ප්‍රමාණයෙන් හතෙන් එකක (1/7) වත් අවම ප්‍රමාණයකට සරිලන ජනෙල්වලින් හෝ දොරවල්වලින් එම අවකාශය සැදුම් ලද යුතු වීම. එතකොට තමයි ඒ අවකාශය තුළ ජීවයකට සුවදායක ලෙස පැවතිය හැකි වාතාවරණයක් ඇති බව සලකන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් ඔය ගොඩනැගිලි සැලසුම් අනුමත කරන කොට ඒ ප්‍රමාණ නිවැරදිව තිබිය යුතුමයි. එසේ ස්වාභාවික වාතාශ්‍රය ලබා දිය නොහැකි අවස්ථාවක නම් ඒ අවකාශ සඳහා mechanical ventilation නැත්නම් කෘත්‍රිම වාතාශ්‍රය ලබා දීම අනිවාර්ය දෙයක්. ඒ කියන්නේ වායු සමීකරණය (air conditioning), නැත්නම් වාතය එළියට ඇදගන්නා exhaust fan නියමාකාරයෙන් සැලසුම් කර තිබිය යුතුයි. ඔය වගේම අපි ගොඩනැගිල්ලක් තුළට වාතාශ්‍රය ලබාගන්න භාවිත කරන මිදුල් සඳහා තැබිය යුතු අවම දුර ප්‍රමාණයන් නීතිගත කරලා තියෙනවා. අඩි තුන හතරක් දිග පොඩි විවෘත අවකාශයක් හරහා අපිට අවශ්‍ය වාතාශ්‍රය සැපයෙන්නේ නෑ. ඒ නිසයි අඩි හතහමාරක අවම පළලක් සහිත මිදුල් නිර්මාණය කළ යුතු වෙන්නේ. සමහර අවස්ථාවලදී ඒක අඩි දහයක් වෙන්නත් පුළුවන්. ගොඩනැගිල්ලක තට්ටු ප්‍රමාණය වැඩි වෙනකොට වාතාශ්‍රය ලබාගන්නා විවෘත මිදුල්වල දිග පළල ක්‍රමානුකූලව වැඩි කළ යුතුයි.
ඉහත ආකාරයට අවශ්‍ය අවම වාතාශ්‍රය ගණනය කළත්, ඒ ඒ ගොඩනැගිලිවල භාවිතයට ගැළපෙන ලෙස ප්‍රමාණවත් වාතාශ්‍රය ලැබෙන සේ නිර්මාණය කළ යුතුයි. ආර්කිටෙක්චර් කියන විෂය හුදෙක් කලාවක් නොව විද්‍යාවක් ලෙස අර්ථ ගැන්වෙන එක් වැදගත් සාධකයක් තමයි මේක. නිවසක සාලය, ආහාර ගන්නා ස්ථානය, කිහිප දෙනෙක් සතුටු සාමිචියේ යෙදෙන තැනක් වගේ අවකාශවල ඉතා හොඳ සුවදායක වාතාශ්‍රයක් තිබිය යුතුයි. ඒ වගේම එවැනි අවකාශයකට ගොඩක්ම පුද්ගලිකත්වයක් අවශ්‍ය නෑ. ඒ වගේ අවස්ථාවලදී විශාල ප්‍රමාණයේ ජනෙල් මගින් එම අවකාශය බාහිර පරිසරයට අවශ්‍ය පරිදි විවෘත කර ගැනීමට සුදුසු ලෙස නිවස නිර්මාණය කළ යුතුයි. මිනිසා තමාගේ ස්වභාවික පරිසරය සමඟ ඇඳී පවතින්නේ නිරායාසයෙන්මයි. ඕනෑම සංවෘත අවකාශක සිට එහි ඇති කවුළුවකින් ඔබ පිටත බලන්නට හෝ ඒ කවුළුව අසලට ගොස් මඳ පවනක් විඳගැනීමට ඔබ කොතරම් කැමතිද? ඒක අපේ නිරායාස පුරුද්දක්.
ඔය වගේම නිදන කාමර සහ නාන කාමර සඳහා යම්කිසි පෞද්ගලිකත්වයක් පවත්වා ගත යුතු නිසා අපිට අර අනෙක් පොදු අවකාශයක වගේ සම්පූර්ණයෙන්ම විවෘත ජනෙල් කවුළු පිහිටුවිය නොහැකියි. ඒ වගේ වෙලාවට පෞද්ගලිකත්වයත් ආරක්ෂා කර ගෙන, ස්වාභාවික ආලෝකය සහ වාතාශ්‍රය අවශ්‍ය පරිදි ලබාගත හැකි ලෙස ජනෙල් නිර්මාණය කළ යුතුයි.
ඒ විදිහට ඒ ඒ අවකාශවල භාවිතය, ගොඩනැගිල්ල පිහිටන ප්‍රදේශයේ දේශගුණික ලක්ෂණ, දිශානතිය වගේ සාධක පදනම් කරගෙන තමයි ජනෙල් පිහිටුවිය යුත්තේ. ඒ වගේම ඒ ජනෙල් ලී පලුවලින් යුක්ත විය යුතුද, වීදුරු වියයුතුද, ලූවර් විය යුතුද යන කාරණාත් මෙහිදී පරිස්සමින් තෝරා ගත යුතුයි.
ස්වාභාවික හිරු එළිය ලබාගැනීම සඳහා බොහෝ විට වීදුරු සහිත විශාල ප්‍රමාණයේ ජනෙල් භාවිත කළත් ඒ වගේ අවස්ථාවකදී ගොඩනැගිල්ල තුළට වාතාශ්‍රය ලබාගැනීම ගැනත් සිතා බැලිය යුතුයි. වාතාශ්‍රය සඳහා යොදා ගන්නා තවත් ක්‍රමයක් තමයි මැද මිදුල් සැලසුම් කිරීම. මැද මිදුලක් මගින් ගොඩනැගිල්ලක් තුළට වාතාශ්‍රය, ඉර එළිය වගේම කදිම අලංකාරයක් එකතු කරන්නත් පුළුවන්. හැබැයි මැද මිදුලක් හදලා ඒකට ඉහළින් වීදුරු වහලයකින් වහලා දැම්මොත් නිවසක ඇතුළත උණුසුම වැඩි වෙන එකයි වෙන්නේ.
ආර්කිටෙක්චර්වල තව වැදගත් දෙයක් තමයි Cross ventilation කියන්නේ. ඒ කියන්නේ එක් අවකාශයක් හරහා ස්වාභාවික වාතාශ්‍රය හමාගෙන යාමට ඉඩ ලබා දීම. සුළං හමන දිශාවට එක් ජනේලයක් සැලසුම් කර, ඊට ප්‍රතිවිරුද්ධ දිශාවේ තවත් ජනේලයක් එළිමහනට විවෘත වන ලෙස තැබීම මගින් එම කාමරය හරහා ඉතා සුවදායක ලෙස සුළං හමාගෙන යාමට ඉඩ ලබාදෙන්න පුළුවන්.
මේ විදියට ගොඩනැගිල්ල නිර්මාණය කිරීමේදී ස්වාභාවික වාතාශ්‍රය ලබාදීම ඉතාමත් වැදගත් අංගයක්. ඒ වගේම ඒක විද්‍යාත්මක ක්‍රමවේදයන් හරහා සැලසුම් කළ යුතු දෙයක්. ඒක ආර්කිටෙක්චර් හුදෙක් කලාවක් පමණක් ය යන අදහස නිවැරදි නොවන බවට ගෙනහැර දැක්විය හැකි තවත් එක් උදාහරණයක්.
© සුමුදු අතුකෝරල 20/ 09/ 2021
❤️❤️❤️❤️
ReplyDelete