Archi චැට් (පහළොව)

Archi චැට් (පහළොව)

Home builders! පරිස්සමින්!

පිටරටකට ගිහින් සාමාන්‍යයෙන් හොඳ රැකියා කරන හුඟදෙනෙකුගේ සිහිනයක් තමයි ලංකාවෙ තමන්ටම කියලා ගෙයක් හදාගන්න එක. ඉතින් පිටරටක ඉන්න ගමන් කොහොමද ලංකාවෙ නිවසක් හදාගන්නේ කියන එක ඒ හැම දෙනෙකුටම වගේ තියෙන ගැටලුවක්. අන්න ඒ පිරිස් ඉලක්ක කරගෙන පහුගිය දශක දෙකක වගේ කාලයක් ඉඳන් ලංකාවෙ අමුතුම ව්‍යපාර ක්‍රමයක් පටන් ගත්තා. ඒ තමයි "පිටරට වෙහෙසවී උපයන ඔබේ මුදලට සරිලනම සිහින නිවහන අපෙන්", "රට රැකියා කරන ඔබට ලංකාවට පැමිණ පදිංචි විය හැකි සිහින නිවස අපෙන්", "ඔබ කරදර වෙන්න එපා, ඔබේ සිහින මාලිගාව අපි හදලා දෙන්නම්", "ඔබ කැමති යුරෝපීය නිවස ලංකාවෙ හදලා දෙන්න අපි සුදානම්", "ඔබ හට රැකියාවෙන් උපයන මුදලට සරිලන, සිහින නිවස අපෙන් අඩුම මිලට" වගේ තේමා පාඨ දාගෙන හතු පිපෙනවා වගේ පිපෙන නිවාස ඉදිකිරීමේ ව්‍යපාර. ඔබත් එහෙම බලාපොරොත්තුවක් සහිතව සිටිනවා නම් මේ ලිපිය ඔබට වැදගත් වේවි. ඔබ එවැනි ව්‍යාපාරයක නියුතු අයෙක් නම් දැන් මට බනීවි. 


ඔය ව්‍යාපාර සංස්කෘතිය මුලින්ම වගේ පටන්ගත්ත ව්‍යාපාරයක් විසින් කරනු ලබන අක්‍රමිකතා මීට දශකයකට විතර කලින් එක්තරා රේඩියෝ නාලිකාවක "බැලුම් ගල" ( මට මතක විදියට) වගේ වැඩසටහනකින් රටටම එළි කළා සමහර අයට මතක ඇති. 

කොහොම හරි, මම ලබලා තියෙන අත්දැකීම්වලට අනුව නම්, තමන්ගේ නිවාස ඉදිකරන්න මේ වගේ ව්‍යාපාරවලට බාර දීපු ගොඩක් අයට සෑහෙන අකරතැබ්බයන්ට මූණ දෙන්න වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට තමන් පිටරටක පදිංචි වෙලා එහෙ ඉඳන් රැකියාව කරනවා නම්, ඒ අතරේ ලංකාවේ ගෙයක් හදන එක ලොකු කර්තව්‍යයක් තමයි. ඉතිං ඒ වගේ අවස්ථාවකදි ඔබ එවන මුදලට සරිලන නිවසක් මෙහෙ ඉදිකරලා දෙන Design and Build home building ආයතනයකට බාර දීම ලේසිම ක්‍රමය විදියට පේන්න පුළුවන්. 

එහෙම දෙයකදි වෙන්න පුළුවන් මූලික වරද තමයි ඔබට හරියටම අවශ්‍ය සැලසුම නිර්මාණය වෙනවාද කියන එක. ගොඩක් වෙලාවට ඔය ව්‍යාපාර කරන අය කරන්නේ තමන් ළඟ දැනුමක් නිර්මාණය වෙලා තියෙන Type plan එකක් ඔබට ඉදිරිපත් කරන එක. හැබැයි ඒක ඔබ වෙනුවෙන්ම නිර්මාණය කරන ලද බව කියලා ඔබට පෙන්වනවා වෙන්න පුළුවන්. මොකද ඒ වගේ පෙර අඳින ලද සැලසුම්වලට එයාලා ගාව 3D පින්තූරවල ඉඳන් ප්‍රදේශීය සභාවෙන් අනුමත කරගන්න අවශ්‍ය සැලසුම් සහ ඉදිකිරීම් කරන්න අවශ්‍ය සැලසුම් පවා තියෙනවා. ඒකෙ නම් වෙනස් කරන එක විතරයි එතකොට කරන්න තියෙන්නේ. මෙතනදි තවත් වෙළඳ උපක්‍රමයක් විදිහට එයාලා කියයි House plan එක නොමිලේ ඇඳලා දෙනවා කියලා. ඒ වගේම ඔතනදි ආර්කිටෙක්ට් කෙනෙක් සම්බන්ධ වෙන්නේ නෑ. ඒ නිසා ඔබටම ගැළපෙන Personalized House එකක් නිර්මාණය වෙන්නේ නෑ. ආර්කිටෙක්ට් කෙනෙක් එක්ක සමීපව කරන නිර්මාණ කාර්යයකින් විතරයි කෙනෙකුට තමන්ගේ අවශ්‍යතාවයන් සහ ආවේණික බවට සරිලන නිවසක් නිර්මාණය කරගන්න පුළුවන්. 

ඊළඟට වෙන දේ තමයි ඒ සැලසුමට අනුව නිවසක් ඉදිකරන්න ඔබ දැරිය යුතු වියදම. මෙහිදී ඔවුන් ඔබට ඇස්තමේන්තුවක් නැත්නම් BOQ එකක් ඉදිරිපත් කරනවා වෙන්න පුළුවන්. ඒත් ඒක ඇත්තටම ප්‍රමාණ සමීක්ෂකයකු අතින් පවතින මිල ගණන් නිවැරදිව අඩංගු කර හදන ලද ඇස්තමේන්තුවක්ද යන්න සැක සහිත වෙන්න පුළුවන්. මේ හැමදේටම පස්සේ ඔබ සාමාන්‍යයෙන් නිවස ඉදිකිරීමට නියමිත වියදමෙන් 70%- 80% ප්‍රමාණයක් අත්තිකාරම් විදිහට ලබා දිය යුතුයි. මේ ප්‍රමාණය එක එක ව්‍යාපාර නාමයට අනුව අඩු වැඩි වෙන්න පුළුවන්. ඒත් ඇස්තමේන්තු මුදලින් වැඩි කොටසක් මුලින්ම ලබාගැනීම තමයි ඔවුන් බොහෝවිට කරන්නේ. නමුත් සාමාන්‍ය ඉදිකිරීම් ක්‍රියාවලියකදි ඔබ අත්තිකාරම් ලෙස කොන්ත්‍රාත්කරුවකුට ලබාදිය යුත්තේ 20%-30% පමණයි. එතනදි කොන්ත්‍රාත්කරු වගකීමකින් ඉදිකිරීම කරනවායැයි යන්න ගැන ඔබට සහතිකයක් තියෙනවා. මොකද ඉදිකිරීම ප්‍රමිතියකට අනුව නොකෙරුණොත් කොන්ත්‍රාත්කරුට ඉතිරි මුදල් ලබාගැනීම දුෂ්කර වෙන්න පුළුවන්. 

සාමාන්‍යයෙන් නිවසක් ඉදිකරන කොට එයට සම්බන්ධ ආර්කිටෙක්ට්, ව්‍යුහමය ඉංජිනේරුවරයා සහ ප්‍රමාණ සමීක්ෂක යන අය නිරන්තරයෙන් එම ඉදිකිරීම නිරීක්ෂණය කරමින් එහි ප්‍රමිතිය සහ සැලසුම්වලට අනුව ඉදිකිරීම වෙනවාද කියන එක ගැන අවධානයෙන් ඉන්නවා. නමුත් මෙහෙම Home builders ලේබලය යටතේ ඉදිවෙන නිවසක සියලුම දේ තීරණය කරන්නේ ඒ කොම්පැනිය විසින්. එතනදි ප්‍රමිතිය ගැන වගකීමක් නැතිවෙන්න පුළුවන්. එහෙම වුණත් ඔය ව්‍යාපාරවල වෙළඳ ප්‍රචාරණවලදී ඒ ඒ වෘත්තිය සඳහා පිළිගත් වෘත්තිකයින් සම්බන්ධ වෙන බව කියවෙනවා. එතනදී ඇත්තටම කවුද ඒ වෘත්තිකයින්, ඒ අය නිවැරදි අධ්‍යාපනයක් සහ වරලත් අයද කියල සොයා දැනගැනීම වැදගත්. ඒ වගේම ඔබ එවැනි ආයතනයක් වෙත නිවසක් ඉදිකිරීම බාරදෙනවා නම් ඒ ඒ වෘත්තියට අදාළ අය සමග සෘජුව සම්බන්ධ වීමට ඉල්ලා සිටීම මගින් ඔබට යම්තාක් දුරකට සැලසුම් නිර්මාණ ක්‍රියාවලිය ගැන සහතිකයක් ගන්න පුළුවන්. 

මෙතන තියෙන ප්‍රධාන ගැටලුව තමයි ඔබ විදේශයක ජීවත් වෙන කෙනෙක් නම් ඉදිකිරීම් ක්‍රියාවලිය සිදුවන විදිය ගැන ඔබට නිවැරදිව අදහසක් ගන්න බැරි වීම. ව්‍යාපාර ලාභය වැඩිකරගැනීම සඳහා මේ වගේ අවස්ථාවලදී ගොඩනැගිල්ලේ ප්‍රමිතිය පහළට දාන්න ඕනෙ තරම් අවස්ථාව තියෙනවා.

හැමතිස්සෙම පිටතින් පේන නිමාවෙන් ගොඩනැගිල්ලක ප්‍රමිතිය තීරණය කරන්න අමාරුයි. පාදම, බිත්ති, ස්ලැබ්, පොළව වගේ ඕනෙම දෙයක් ඇතුළ බොල් කරලා පිටතින් හොඳට මේක් අප් කරලා දෙන්න පුළුවන් ගොඩනැගිලි ව්‍යාපාර කරන අය ඉන්න පුළුවන්. ඒ නිසා තමයි ගොඩනැගිල්ලක් ඉදිකිරීම ක්‍රියාවලියක් කියලා කියන්නේ. වෘත්තීය සුදුසුකම් ඇති අයගේ නිරන්තර අධීක්ෂණය යටතේ ඉදිවන ගොඩනැගිල්ලක විතරයි ප්‍රමිතිය තහවුරු කරන්න පුළුවන්. 


ඔබ පිටරක ඉන්න කෙනෙක් නම් එහෙ ඉඳන් ලංකාවෙ ගොඩනැගිල්ලක් ඉදිකරන්න බලාපෙපොරොත්තු වෙනවා නම් Home builder කෙනෙක් ගාවට යනවාට වඩා හොඳයි ශ්‍රී ලංකා වාස්තු විද්‍යඥයන්ගේ ආයතනයේ වෙබ් Directory එක හරහා හරි, දන්න කියන කෙනෙක් හරහා හරි හොඳ ආර්කිටෙක්ට් කෙනෙක් සම්බන්ධ කරගෙන ඔබට අවශ්‍ය ගොඩනැගිල්ලේ නිර්මාණ කාර්යය සිදුකරගන්න එක. එතනින් පස්සේ ඒ ආර්කිටෙක්ට් ගෙත් උපදෙස් ඇතිව අනෙක් වෘත්තිකයන් සහ අත්දැකීම් ඇති කොන්ත්‍රාත්කරුවෙක් තෝරාගෙන ඉදිකිරීම් කාර්යය නිවැරදි අධීක්ෂණය යටතේ ප්‍රමිතියකට සිදුකරගැනීම. 

ඒ වැඩේ ඉවර වුණාම මට ස්තුති කරන්න. 

© සුමුදු අතුකෝරල (15/05/2021)



Comments

Post a Comment

Popular posts from this blog

Archi චැට් (විස්ස) - ඉර එළිය සහ ආර්කිටෙක්චර්

Archi චැට් (විසි තුන) වැස්ස සහ ආර්කිටෙක්චර්

Archi චැට් (විසි එක)   මඳ පවන සහ ආර්කිටෙක්චර්