Archi චැට් (දාහත)

Archi චැට් (දාහත)

ලකී ගැන නොකී දෑ


ලකී සේනානායක කියන අපූරු නිර්මාණ ශිල්පියා පසුගියදා මිහිපිට තම සොඳුරු ජීවිතයට සමුදුන්නා. කලා සහ ආර්කිටෙක්චර් විෂය සමග සබැඳි බොහෝ දෙනෙක් ලකී ගැන තම තමන්ගේ අත්දැකීම් ලිව්වා, කතා කළා. ඔහු ගැන මම නොදත් බොහෝ කරුණුත් ඒ අතර තිබුණා. අවුරුදු තුනක් තරම් වයසේ සිට ඔහු චිත්‍ර ඇන්ද බව, ලංකාවේ පැරණි ඉතාම අලංකාර මුදල් නෝට්ටු සඳහා ඔහු නිර්මාණ දායකත්වය ලබාදුන් බව, මුලදී සැලසුම් ශිල්පියෙක් නැත්නම් Draughtsman කෙනෙක් විදියට වැඩ කරලා, පසුකාලීනව ජෙෆ්රි බාවාගේ ආර්කිටෙක්චර් කාර්යාලයට සම්බන්ධ වෙලා වැඩ කරපු බව ඒ විවිධ ලියවිලිවල තිබුණා. ජෙෆ්රි බාවා හඳුනාගැනීමත් සමග ජෙෆ්රිගේ විවිධ ආර්කිටෙක්චරල් නිර්මාණ සඳහා කලා නිර්මාණ කටයුතු ලකීට පැවරුණා. ගොඩක් අය දන්න ගාල්ලේ Light House හෝටලයේ පරංගි සටන අත්වැට, කණ්ඩලම හෝටලයේ යෝධ බකමූණාගේ පිළිරුව වැනි තවත් චමත්කාරජනක චිත්‍ර සහ මූර්ති ඉදිරියේ ලකීගේ නම ලියවෙනවා. ඒ වගේම ජෙෆ්රි විසින් නිර්මාණය කරන ලද ගොඩනැගිලි ආශ්‍රිත උද්‍යාන සැලසුම් පිටුපස සිටි ප්‍රධාන නිර්මාණ ශිල්පියා ලකී බව කවුරුත් දන්නා කරුණක්

එවැනි තොරතුරු අතර වැඩිපුර කතා නොවුණු කරුණක් තමයි ජෙෆ්රි බාවා, ඊනා ද සිල්වා, උල්රික් ප්ලෙස්නර් සහ බාබරා සන්සෝනි වැනි අපූර්ව නිර්මාණ ශිල්පීන්ගෙන් සැදි කලා හවුලක ලකීද ප්‍රධාන කොටස්කරුවෙකු බව. 

එම සුවිශේෂී කලා කුලකය බිහිවුණේ ජෙෆ්රි බවාගේ මූලිකත්වය අනුව බව කීම වරදක් නැහැ. උල්රික්, ජෙෆ්රි සමග එක්ව ආර්කිටෙක්චර් නිර්මාණ සිදු කළා, ඊනා ද සිල්වා තම අලංකාර බතික් නිර්මාණවලින් එම ගොඩනැගිලි වර්ණවත් කළා, බාබරා සන්සොනි මේ සැමගේම ඉතා සමීප හිතවතියක්, ඔය අතරේ ලකී තම උද්‍යාන අලංකරණ, මූර්ති සහ තීන්ත චිත්‍රවලින් ඒ කලා හවුල පෝෂණය කළා. 

මේ කලා හවුල ඔස්සේ කාලීන නිර්මාණ, කලා සහ සංස්කෘතික දෑ ගැන ඔවුන් අතර සිදුවුණු කතාබහ එකිනෙකා අනුභූතිමය වශයෙන් පෝෂණය කළ බවට සැකයක් නැහැ. බාබරා විසින් සම්පාදනය කරන ලද ‘Architecture of an Island’ නමැති වටිනා පොත සඳහා උල්රික්, ලකී සහ බාබාරා එක්ව රට වටේ පැරණි ගොඩනැගිලි නිරීක්ෂණය සඳහා ගිය ගමන් ගැන උල්රික් තම ‘in-situ’  චරිතාපදානයේ කදිම පරිච්ඡේදයක් ලියා තියෙනවා. 

ජෙෆ්රිගේ ලුණුගඟ ආශ්‍රිතව මේ මිතුරු දම කොතරම් ජීවමය, සෞන්දර්යාත්මක අපූර්වත්වයකින් එකිනෙක ගැටගැසෙන්නට ඇතිද යන්න ඔබ ලුණුගඟ නිවාස සහ උද්‍යානය වටේ රවුමක් දෙකක් ඇවිදගිය කෙනෙක් නම් නිසැකවම වැටහෙනු ඇති. 

මේ සියලු කරුණු කාරණා අනුව ලකී විසින් ලංකාවේ තත්කාලීන කලා නිර්මාණ ප්‍රවාහයට මුසු කර ඇති මතක, අදහස් සහ සිහිවටන ගැන මම අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ නිසා මට ලකීව දැක මුණගැසුණු අවස්ථා හතරක් ගැන කෙටි සටහනක් තබා මේ දාහත්වැනි ආකි චැටය ඔහු වෙනුවෙන් සිහිවටනයක් ලෙස ලියා තැබීමට තීරණය කළා. 

මට මතක විදිහට මම මුලින්ම ලකීව දැක්කේ මම මොරටුව විශ්වවිද්‍යාලයේ ආකිටෙක්චර් පීඨයේ දෙවෙනි වසරේ ඉගෙන ගන්න කාලේ. ඒ කාලේ ඉතින් අපිව එක්ක යනවනේ ඔය ආකිටෙක්චරල් වටිනාකම් තියෙන තැන් බලන්න. එකපාරක් අපිව එක්කගෙන ගියා ඔය දඹුල්ල පැත්තේ කැළේක තියෙන 'දිය බුබුළ' කියලා කියන තැනක් බලන්න. මටත් මතකයි පොඩිකාලේ ඉස්කෝලෙ ඉවරවෙලා ඔය දිය බුබුළ කියලා කියන වෙල් මැද තියෙන පොඩි පොකුණුවලින් නානවා. ඉතින් මම හිතන් හිටියේ මේකත් එහෙම තැනක් වෙන්න ඇති කියලා. එත් අපිව එක්කන් ගිය තැන ලොකු ගස්වලින් වටවෙච්ච හරිම විවෘත විදහට ලීවලින් හදපු නවාතැන් පොළක්. බැලූ බැල්මට ලොකු වැදගත් කමක් පේන ගොඩනැගිල්ලක් නෙමෙයි. එතන හිටියා කොන්ඩේ අවුල් වෙච්ච, රැවුලත් වවාගෙන සරමක් විතරක් ඇඳන් හිටපු කෙනෙක්. අපි මුලින් හිතුවේ එයා එතන බලාගන්න ඉන්න කෙනෙක් කියලා. එත් අපේ ගුරුවරයා (මට මතක විදහට විජිත බස්නායක සර්) ඒ පුදගලයට කතා කළේ බොහොම හිතවත් ගෞ
රවයකින්. ටිකකින් තමයි අපි දැන ගත්තේ මෙයා තමයි කීර්තිමත් කලාකරු ලකී සේනානායක කියලා. ඒ එයාගේ හැටි, හැමදාම එහෙම තමයි. හරියටම බොහීමියන් කියලා කියන්න පුළුවන් ඔක්කොම සොඳුරු ලක්ෂණ තියෙන ලකී. 

ඒ වෙනකොට ආකිටෙක්චර් ගැන ලොකු දැනුමක් අවබෝධයක් නැතත් දිය බුබුළ වටේ අපිව එක්කගෙන ගිහින් ලකී තමන් ඒක නිර්මාණය කරපු විදිහ විස්තර කරන එක මට යන්තම් වගේ තවම මතකයි. ලී කඳන් ඒ තියෙන ස්වභාවික හැඩය සහිතව කණු විදිහට භාවිත කරලා හදලා තිබුණු ඒ විවෘත අවකාශ ඔහු විසින්ම නිර්මාණය කරපු පොකුණුවලින් ඉහළට එසවිලයි තිබුණේ. ඇස්බැස්ටෝස් තහඩු උඩට කොන්ක්‍රීට් අතුරලා ඒක ස්ලැබ් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් අඩු වියදම් ක්‍රමය හොයාගත්තේ ලකී. එයාගේ දිය බුබුළේ තට්ටු ඔක්කොම හදල තියෙන්නේ ඒ විදිහට. 



ඊට පස්සේ එක එක තැන්වලදී ලකී දකින්න ඇති. ඒත් හරියටම මතක හිටින අත්දැකීමක් ආයේ තියෙන්නේ මම ආකිටෙක්ට් චන්න දාස්වත්ත යටතේ සීගිරිය Water Garden හෝටලයේ නිර්මාණ කටයුතු සඳහා Project ආකිටෙක්ට් විදිහට වැඩ කරන කාලේ; දෙදාස් දාහතේ විතර. ඒ හෝටලයේ ඇතැම් නිර්මාණ අංග නිර්මාණය කිරීම චන්න විසින් ලකීට බාරදීලා තිබුණා. දවසක් අපි Site Vist එකකට යද්දි ලකීත් ආවා. එයා රෙස්ටුරන්ට් එකේ ඇතුළට නිර්මාණය කරන Schandelier  එකට අදාළ මිනුම් කීපයක් ගන්න සහ ඒ ගැන අපිට විස්තර කරන්න. අපිත් එක්ක වැඩ කරපු Rose (Rose Perry) කියන බ්‍රිතාන්‍ය ජාතික තරුණිය තමයි ඒකේ අභ්‍යන්තර නිර්මාණ කටයුතුවලට චන්නට උදවු කළේ. ඉතින් ලකී ඇවිත් උසවල් එහෙම මැනගෙන අපිත් එක්ක වාඩි වෙලා කතා කළා. එයා කරන්න යන නිර්මාණය ගැන එයා විස්තර කරන ගමන් මොනවහරි කුරුටුගාලා පෙන්නන්න ඕන වෙලා, කොළයක්, පෑනක් ඉල්ලුවා. මම පැනලා මගේ අතේ නිතර තියන් ඉන්න සටහන් කුරුටු පොතයි, පෑනයි ලකීට දික් කළා. ලකී එකේ පොඩි කුරුටු සටහන් දෙකක් ඇන්දා, එයාගේ විස්තරේ කියන ගමන්. ඔය කතා ඉවර වෙලා ලකී යන්න හදන කොට මම අර කුරුටු පොත එයාට දික්කරලා, 


“Laki can you kindly sign this?” 

කියලා ඇහුවා. 

ලකී ඔළුව අමුතු විදිහකට හරවලා මගේ මූණටම "මූට මොකක් වෙලාද මේ?" වගේ 
තියුණු බැල්මක් එල්ල කෙරුවා.

“Why?”

මම උත්තරයක් නැතුව අහිංසක හිනාවක් දිග ඇරගෙන හිටියා වෙන්න ඇති. ලකී එයාගේ ලස්සන අව්‍යාජ හිනාව දාගෙනම පොත අරන් ඒ කුරුටු දෙක අත්සන් කරලා මට ආයෙත් දුන්නා. ඒ කුරුටු දෙක රාමු කරලා අදත් මගේ ගෙදර තියෙනවා. ඉතාම කෙටි වෙලාවකින් ඇඳපු පොඩිම පොඩි කුරුටු කෑලි දෙකක් වුණත් ඒක මට හරිම වටිනවා. මොකද ලකී එක ඇන්දෙම මට එයාගේ නිර්මාණය විස්තර කරන්න. 

ඔහොම ටික කාලයක් ගිහින්, තවත් දවසක, කරගෙන යන ඒ නිර්මාණය නිරීක්ෂණය කරන්න ලකී අපිට එයා ජීවත්වෙන දිය බුබුළට එන්න  කිව්වා. ටිකක හවස් වෙලා ගොම්මන් වෙලාවට එන්න කිව්වේ සැලසුමක් ඇතිව කියලයි මට හිතුණේ. 

අපි දිය බුබුළට යන කොට හවස හයට විතර ඇති. ලකී එක තට්ටුවක් උඩට වෙලා සරම පිටින් මැක් බුක් එකකුත් දිග ඇරගෙන  ඉන්නවා. ඒක හරිම අපූරු දර්ශනයක්, අතීතයත් අනාගතයත් ලකී හරහා එකට එක මුණගැහිලා වගේ දෙයක් තමයි මගේ ඔළුවට ආවේ. අපි එයා කරමින් හිටපු නිර්මාණය එහෙම බලලා පස්සේ පොකුණක් උඩ ලී කණුවලින් රඳවපු ලෑලි තට්ටුවක් මතට වෙලා කතාවට  වැටුණා. 

ඒක හරිම ආස්වාදජනක නිදහස් මොහොතක්. මට අවුරුදු ගාණකට කලින් දැනුණු විදිහට වඩා ගොඩක් අපූරු විදිහට තමයි ඒ තැනයි වෙලාවයි දෙකම දැනුණේ. දිය බුබුළ වටේට තිබුණු රූස්ස ගස් පාමුල ජීවත් වුණු ලෝහමය වල් ඌරන්, දැවැන්ත බකමූණන් වැනි විවිධ සත්තු, අනෙකුත් මූර්ති ඉතාම සෞම්‍ය විදිහට ආලෝකවත් කරලා, ලකී විසින් කැළේ ඇතුළේ හංගපු ස්පීකර්වලින් නැගෙන ළා සංගීතය, ඒ සංගීතයත් එක්ක මුසුවෙන රැහැයි හඬ, පොකුණුවලින් නැගෙන හීන් වතුර සද්දය, ඒ අස්සේ ජින් සහ ටොනික් එක්ක නියම මාත්‍රාවට මුසුවෙන අපි, ඒ අස්සේ බාවා ගැන ලකී ගේ වෙනත් අපූරු නිර්මාණ ගැන ඉතිහාසය අවුස්සන ලකී, ඔව් ඒක අහසින් එහා තියෙන මොකක් හරි සුන්දර ලෝකයකට වඩා වෙනස් වුණේ නැහැ.

"ලකී ඔයාගේ හැම හවස් වරුවක්ම ගෙවෙන්නේ මෙහෙමද?"


මම තකතීරු ප්‍රශ්නයක් ඇහුවා. 

"ඔව් මෙහෙම නැත්නම් මීටත් වඩා හොඳට"  

එයාගේ ඔඩොක්කුවේ තිබුණ පැසකින් ගත්ත මොනවදෝ කුඩා, වියළි මල් වගයක් මිල කළ නොහැකි ඇඟිලි අගින් කුඩු කරන ගමන්  ලකී හොඳටම හිනා වුණා. ඒ මොහොත සදාකාලික වුණා. 

ඊට පස්සේ මට ලකීව මුණගැසුණේ Water Garden හෝටලය විවෘත කරන දවසේ. එක අපි හැමෝටම සතුටු දවසක්. ලොකු පිරිසක් ලස්සනට ඇඳලා කරලා ඒ උත්සවයට ඇවිත් තිබුණා. ඒත් හොඳටම ලස්සනට ඇවිත් තිබුණේ ලකී. තැඹිලි පාට සරමක් ඇඳලා උරහිස වටේටත් තව තැඹිලි පාට සළුවක් දාගෙන, කනේ කහපාට මලක් ගහලා, එයා එදා හිටපු විදිහෙන් එයාගේ පිටතත් ඇතුළතත් කොච්චර ලස්සනද කියල හිතුණා. 


ලකී කියන්නේ පුරාවෘත්තයක්. ඔහුගේ අපූරු තීන්ත රේඛා සහ මනස්කාන්ත යකඩ පිළිරූ අපේ කාලයේ කලා මංපෙත්හි නියමිත ස්ථානවල සදාතනික වනවාට සැකයක් නෑ. ඊටත් වඩා ඔහු චමත්කාර ජීවිත කාලයක්, අඟුණ මලක සැහැල්ලුවෙන් සහ දුන්නකට අමුණා අදින හීයක වීරිය සහිත ජවයකින් පරිපූර්ණ කර නික්ම ගිහින්.


ලකී සේනානායක සොඳුරු කලාකරුවාණනි ඔබට සුබ ගමන්! 

සුමුදු අතුකෝරල [03/06/2021]

Comments

  1. මටත් වාසනාවක් ලැබුන, National Trust එකේ ගුරු,
    පුරා විදු, සහ
    නිර්මිත නිර්මාන විද්‍යා ශිල්පී, රෝලන්ඩ්
    සිල්වා මහතා නඩේගුරා වශයෙන් කටයුතු කරමින් එවැනිම නිර්මිත නිර්මාණ විද්‍යා විශාරද ඈශ්ලි ඩිවොස් ඇතුළු සම්භාව්‍ය කංඩායමට එක්වී, දඹුලු පූර්ව ඓතිහාසික සොහොන් පිටි, ඇතුලුු දඹුළු විහාරය අබියස රෝලන්ඩ් සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් කල්චුරල් ට්‍රෑන්ගලය මගින් ස්ථාපනය කර තිබු ⁣දඹුළු කෞතුකාගාරයේ දේවලුත් දැකබලා පිරිස විසින් ඹහුගෙන, අවසානයේ ඝවේශනය අවසානයේ එන ගමන් ලකී සේනා නායක නම් ශුවි ශේශී පරිසර සෞන්දර්ය හිතකාමියා ගේ නිවහනට යමුදැයි අදහස මතුවී කතාකරමින් රෑබෝවෙනගමන්ම මෙම සුවශේශී ස්ථානයේ දියබුබලේ ටික වේලාවක් සියළුපිරිස සතුටු සාමිච්චියේ යෙදුන අත්දැකීම ලැබීමට මාද වාසනාවන්ත
    විය.
    එය මහරූප්ප ගස්කොලන් අතරේ වූ නියම දිය බබුලක්මැ විය.
    ඒගැන සුමුදු අතුකෝරලයන්ගේ චමත්කාර විස්තරය මොනවට පැහැදිලිය.
    මේ උඩුකය විවරකරගෙන බටනලාවක් අතැතිව රෙදිපටියෙන් හම් බෑගයක් එල්ලාගත් ශුවිශේෂී මිනිසාගේ මාහද විශේශයෙන් බැඳගත්තේ සමාජයේ පහලයැයි සම්මත කලිසම් ඇඳීමට සමාජය විසින් ප්‍රභූ සමාජය විසින් පිළිනොගත් සරල සරමට සමාජයට ඹහුගේ ඉහතකී භාවිතයෙන් ලැබන උතතේජනයයි.
    ඹහුගේ කලාකලානිර්මාණයන්ටත් වඩා එම භුමිකාව මගින් සමාජය වෙත දුන් පනිවිඩය, සමාජ
    සම්මාදම මම විශේශයෙන් අගයකරමි.

    ReplyDelete
    Replies
    1. හරිම සතුටුයි දැනගැනීමට ලැබීම ගැන.

      Delete
  2. අඟුණ මලක සැහැල්ලුව 😍😍

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Archi චැට් (විස්ස) - ඉර එළිය සහ ආර්කිටෙක්චර්

Archi චැට් (විසි තුන) වැස්ස සහ ආර්කිටෙක්චර්

Archi චැට් (විසි එක)   මඳ පවන සහ ආර්කිටෙක්චර්