Archi චැට් (දහ අට)
Archi චැට් (දහ අට)
බොහෝවිට එතරම් වැදගත් කොට නොසැලකුවත් මිනින්දෝරු සැලැස්මක් යනු ඉතා වටිනා ලේඛනයක්, සැලැස්මක්. ඉඩම් කඩම් පිළිබඳව ඇති වන ආරවුල්, නඩු හබ සහ වෙනත් අපරාධ ඔබ නිතර අසා ඇති. ඉඩම්වල මායිම් එහාට මෙහාට වීම්, ඉඩම්වල වපසරිය පිළිබඳ ගැටලු වැනි බොහෝ කරුණු සම්බන්ධව වැදගත්ම වන සහතිකයක් තමයි මිනින්දෝරු සැලැස්ම.
කලින් තිබුණු නීතිමය තත්වයන්වලට වෙනස්ව දැන් ඕනෑම මිනින්දෝරු සැලැස්මක් සඳහා වසර දහයකට මෙහා අනුමැතියක් ලබා තිබීම අනිවාර්ය කරුණක්. ඔබ ඔබගේ ඉඩමේ කිසියම් ඉදිකිරීමක් කිරීමට බලාපොරොත්තු වෙනවා නම් එලෙස අවරුදු දහයක් ඇතුළත අනුමැතිය ලද මිනින්දෝරු සැලැස්මක් තිබිය යුතුමයි.
Survey Plan එකක් කියන්නේ මොකක්ද?
සාමාන්‍යයෙන් මිනින්දෝරු සැලැස්මක් නැත්නම් Survey Plan එකක් කියන්නේ ඕනෑම ඉඩමක මායිම්, ඊට යාබද ඉඩම් සහ එම ඉඩම වටා ඇති පාරක් හෝ පාරවල් කිහිපයක් ඇතුළත් කර, නිවැරදි මිනුම්වලට සහ පරිමාව සහිතව අඳින සැලැස්මක්. මිනින්දෝරු සැලැස්මක් නිර්මාණය කිරීමට බලය ඇත්තේ බලයලත් මිනින්දෝරුවෙකුට පමණයි. ඕනෑම මිනින්දෝරු සැලැස්මක් එය නිර්මාණය කළ මිනින්දෝරු වෘත්තිකයා විසින් මුද්‍රාව සහිතව සහතික කළ විට පමණයි එයට වගකීමක් ලැබෙන්නේ. ඉන්පසුව එය ඉඩමට අදාළ ප්‍රාදේශීය සභාවේ හෝ නගර සභාවේ ලියාපදිංචි කළ යුතුයි.
ඔබ ගොඩනැගිල්ලක් නිර්මාණය කරගැනීමට ආර්කිටෙක්ට් කෙනෙක් සම්බන්ධ කරගත් පසුව නිවැරදි මිනින්දෝරු සැලැස්මක් ආර්කිටෙක්ට් වෙත ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍ය කරුණක්. ආර්කිටෙක්ට් කෙනෙක් ගොඩනැගිල්ලක් නිර්මාණය කිරීමේදී, ඒ සඳහා පාදක කරගන්නේ ඔහු වෙත ලබාදෙන මිනින්දෝරු සැලැස්මයි. එහිදී සැලැස්මෙහි මුල් පිටපතේ ඒ හා සමානම පිටපතක් ලබා දීම ඉතාම වැදගත් වෙනවා.
බොහෝ විට මිනින්දෝරු සැලැස්මක් නිර්මාණය වන්නේ, 1:1000, 1:500, අඟලකට චේන් (One chain to an inch) එකයි වැනි නිශ්චිත පරිමාණයන් කිහිපයකටයි. ඒ වගේම මිනින්දෝරු සැලැස්මක උතුරු දිශාව නිවැරදිව සලකුණු කිරීම අනිවාර්ය අංගයක්.
තවත් ඉතාම වැදගත් දෙයක් තියෙනවා, බොහෝ විට නාගරික හෝ අර්ධ නාගරික ප්‍රදේශයක් පිහිටි ඉඩමක්, වෙරළබඩ ඉඩමක් හෝ වෙනත් ස්වාභාවික ජලාශයකට, ගඟකට, ඇළකට හෝ රක්ෂිතයකට යාබදව පිහිටන ඉඩමක් නම් එම ඉඩමෙහි මිනින්දෝරු සැලැස්ම අදාළ ප්‍රාදේශීය සභාවට, නගර සභාවට හෝ නාගරික සංවර්ධන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර එම ඉඩමට අදාළ සීමාවන් කාර්යාලීයව සහතික කරගැනීම ඉතාම වැදගත්. ඒ කියන්නේ වෙරළ සීමාවේ සිට, ගං ඉවුරේ සිට, පාරක නම් පාරේ මැද සිට තැබිය යුතු ගොඩනැගිලි සීමාව හෝ වීථි රේඛා සහතිකයක් ලබා ගැනීම. ඉඩමට යාබද පටු පාරක් නම් ඒ පාරේ සිට ගොඩනැගිල්ලට තැබිය යුතු දුර යනාදිය නිවැරදිව සහතික කර ලබාගැනීම එම ගොඩනැගිලි සැලසුම් කටයුතු ඉතා පහසු කිරීමට ඉවහල් වෙන දෙයක්.
ආර්කිටෙක්ට් විසින් එම සැලැස්ම අවශ්‍ය පරිදි නිවැරදිව විශාල කර තම ගොඩනැගිලි නිර්මාණය කරනු ලබයි. එම නිසා මුලින් ඔහු හෝ ඇය වෙත ලැබෙන මිනින්දෝරු සැලැස්මෙහි යම්කිසි වෙනසක් තිබුණා නම් එය පසුව නිර්මාණය වෙන ගොඩනැගිලි සැලසුමටත් බලපාන බව වෙනම කිවයුතු නැහැ. එවන් අත්වැරදීම් නිසා විශාල ගොඩනැගිලි පවා ඉදිකිරීම ආරම්භ කරන අවස්ථාවලදී උද්ගත වූ ගැටලු පිළිබඳව අපි අහලා තියෙනවා.
සෑහෙන දුරකට තැනිතලා ඉඩමක් නම් ඉහත සඳහන් කළා වගේ සාමාන්‍ය මිනින්දෝරු සැලැස්මක් ප්‍රමාණවත් වුණත්, බෑවුම් සහිත, කඳුකර ඉඩමක් නම් එම බෑවුම නිවැරදිව අවබෝධ කරගත හැකි කොන්ටුවර් සැලැස්මක් (Contour plan) නැතිනම් Spot Level Survey එකක් මෙන්ම ඉඩමෙහි හරස් කඩක් සකසාගැනීම ඉතාම වැදගත්. ඒ වගේ වෙලාවට ඉඩමෙහි බෑවුම වෙනස් වන ආකාරය නිවැරදිව මැන සැලැස්මෙහි සටහන් කිරීමට අවශ්‍ය මිනුම් හැකියාව, උපකරණ සහ දක්ෂතාව මිනින්දෝරුවෙකු සතුයි. එවිට එම බෑවුම්වලට අනුරූප වන ලෙස නිර්මානණශීලීව ගොඩනැගිල්ල නිර්මාණය කිරීමට දක්ෂ ආර්කිටෙක්ට් කෙනෙකුට පහසුයි.
ඒ වගේම විශාල ගල් හෝ වටිනා කියන ගස් යනාදිය පවතින ඉඩමක් නම් ඒ සඳහා ඒ ඒ දේවල්වල ස්ථාන, නිවැරදිව, වෙන් වෙන්ව මිනින්දෝරු සැලැස්මෙහි සටහන් කරගැනීමත් වැදගත්. ඒ මගිනුත් වෙන්නේ ඒ ඒ ඉඩමෙහි ඉදිකෙරෙන ගොඩනැගිල්ල පවතින භූවිෂමතා සහ තුරුලතා ආරක්ෂා කරගෙන ඒ ස්වාභාවිකත්වයට අනුගත වන නිර්මාණයක් කිරීමට ආර්කිටෙක්ට් කෙනෙකුට පහසු වීමයි.
©සුමුදු අතුකෝරල [12/06/2021]
👍👍👍❤❤❤
ReplyDelete👍🤛💐
ReplyDeleteමල්ලි,ඔය ලිපි ටික ඉවර වුනාම පොතක්කරමු.
ReplyDeleteජයවේවා!👍💪🥰
Thank you!
Delete