Archi චැට් (දහනමය) - "මොඩර්න් ආර්කිටෙක්චර්වලට කෙටි පාරක්"


මොඩර්න් ආර්කිටෙක්චර්වලට කෙටි පාරක් 
 
මොඩර්න් අර්කිටෙක්චර් කියලා අපි වර්තමානයේ හඳුන්වන  අදහසම නෙමෙයි ඇත්තටම මොඩර්න් ආර්කිටෙක්චර් කියන සංකල්පයෙන් කියවෙන්නේ. "මට මොඩර්න් ගෙයක් ඕනේ", "මට බොක්ස් ටයිප් මොඩර්න් ගෙදරක් තමයි හදන්න ඕනේ", "අලුත් විදිහේ මොඩර්න් ගෙයක් ඩිසයින් කරලා දෙන්න" වගේ ඉල්ලීම් අපිට එනවා. ඒ අදහස්වලින් කියවෙන්නේ වර්තමානයේ හුඟක් ප්‍රචලිත ජ්‍යාමිතික හැඩතලවලින් යුක්ත පෙට්ටි වගේ ගෙවල් ගැන. නමුත් ඇත්තටම මොඩර්න් ආර්කිටෙක්චර් කියන අදහස අධ්‍යයන විෂයක් විදිහට ගත්තහම කියවෙන්නේ දහ නමවෙනි ශතවර්ෂයේ අග බාගයේ ලෝකේ ඇති වෙච්ච මූව්මන්ට් එකක්, නැත්නම් විකාශනයක්. 



Villa Savoye by Le Corbusier

පුනරුදයෙන් පස්සේ ඇති වෙච්ච කලා, සංස්කෘතික වෙනස්කම් එක්ක කාලයක් පැවතිච්ච ආර්කිටෙක්චරල් විකාශනය හුඟක් ලොකු වෙනසකට ලක්වෙන්නේ දාහත්වෙනි සියවසේ ඇතිවෙච්ච කාර්මික විප්ලවයටත් වඩා දහනමවෙනි සියවස අගදී වුණ තාක්ෂණික, ඉංජිනේරු සොයාගැනීම් සහ අලුත් අමුද්‍රව්‍ය භාවිතයත් එක්කයි. එතෙක් යුරෝපය ආශ්‍රිතව මුල්බැසගෙන තිබුණු, වික්ටෝරියානු සහ  එඩ්ව්වර්ඩියානු  ආර්කිටෙක්චරල් සම්ප්‍රදායන්වල තිබුණු පැරණි ආකෘති, හැඩ සහ සංකල්පවලින් මිදෙන්න පුළුවන් වුණේ ඔය කියන තාක්ෂණික, ඉංජිනේරු සහ අමුද්‍රව්‍යමය වෙනස නිසයි. 

කාස්ට් අයන්, වීදුරු සහ රෙන්ෆොර්ස් කොන්ක්‍රීට් තමයි මොඩර්න් ආර්කිටෙක්චර්වල ප්‍රධානම භූමිකාවන්ට පණ පෙව්වෙ. ඊට කලින් ඉදිවුණු ගොඩනැගිලි සියල්ලම හැදුණේ ඔය අමුද්‍රව්‍ය කිසිවක් නැතුව. වීදුරු භාවිත වුණ නමුත් ඒ කුඩා ප්‍රමාණයේ කවුළු සඳහා විතරයි.

විශාල ප්‍රමාණයේ වීදුරු මුහුණත (Glass curtain) සහිත ගොඩනැගිලි නිර්මාණය කරන්න පුළුවන් වුණේ වීදුරුවල සංයුතිය ඒ විදිහට දියුණු තාක්ෂණයත් එක්ක වෙනස් වුණාට පස්සෙයි. ඒ වගේම යකඩ සහ කොන්ක්‍රීට් නිසා මහල් දෙකේ තුනේ ගොඩනැගිලිවලට වඩා උස මහල් කිහිපයක ගොඩනැගිලි නිර්මාණය කරන්න ඒ කාලේ ආර්කිටෙක්ට්ස්ලට පුළුවන් වුණා. 


Guggenheim Museum by Frank Lloyd Wright


උස ගොඩනැගිලි තුළ පහසුවෙන් ගමන් කරන්න පුළුවන් විදහට Lift නැත්නම් Elevators වගේ දේවල් බිහිවෙන්නෙත් ඔය කාල පරාසය අතර තුර තමයි. පොදු සහ වාණිජමය ගොඩනැගිලි සඳහා මුලදී භාවිත වුණු මේ අමුද්‍රව්‍ය සහ තාක්ෂණය ක්‍රමයෙන් නිවාස නිර්මාණය සඳහාත් භාවිත වෙන්න පටන් ගත්තා. 
සාම්ප්‍රදායික අමුද්‍රව්‍යවලට වඩා එහා ගිය ගුණයන්ගෙන් යුත් මේ නව අමුද්‍රව්‍ය භාවිතයෙන් ඒ ඒ අමුද්‍රව්‍යවල ස්වභාවයන්ට අනුව නව ආකෘති, හැඩතල සොයාගැනීම මගින් නව ආකිටෙක්චරල් සම්ප්‍රදායක් බිහිකරගත යුතු බවට එවක ආර්කිටෙක්ට්ලා අතර කතාබහක් ගොඩනැගුණා. 
 
ඔය මතිමතාන්තරත් එක්ක, විසිවෙනි සියවසේ මුල වැඩකරමින් සිටි ආර්කිටෙක්ට්ලා අර පැරණි කොටු සහ රවුම් හැඩ වෙනුවට අමුතුම හැඩ සහිත ගොඩනැගිලි නිර්මාණය කරන්න පෙලඹුණා. කොන්ක්‍රීට් සහ වීදුරු නිසා විවිධ ස්වභාවික හැඩ ගොඩනැගිලිවලට අරන් එන්න එයාලට පුළුවන් වුනා. බාසිලෝනාවල හිටපු ඇන්තනී ගවුඩි එහෙම ලොකු වෙනස් වැඩ කරපු කෙනෙක්. 

ඇමෙරිකාවේ Frank Lloyd Wright මේ මොඩර්න් ආර්කිටෙක්චර් සම්ප්‍රදාය තහවුරු කරපු තවත් ප්‍රධාන ආර්කිටෙක්ට් කෙනෙක්. එයා තමන්ව කිසිම කුලකයකට ගොනු කරනවට කැමති වුණ කෙනෙක් නෙමෙයි. එයාට ඕනේ වුණේ තමන්ටම අනන්‍ය වෙනම සම්ප්‍රදායක්. නිව්යෝර්ක් නගරය ආශ්‍රිතව නව ආර්කිටෙක්චරල් රැල්ලක් ඇති කරපු Frank Lloyd Wright කලින් පැවති නිවාස ආකෘති වෙනස්ම තැනකට රැගෙන ගියා. ආර්කිටෙක්චර් ගැන අදටත් පිළිගැනෙන ප්‍රබලම කියමනක් වෙන Form Follows Function කියන අදහස ඉදිරිපත් කළේ ඔහුයි. ඕනෑම ගොඩනැගිල්ලක පදනම විය යුත්තේ එම ගොඩනැගිල්ලේ භාවිතය නැත්නම් ගොඩනගිල්ලක සියලුම දේවල් එහි භාවිතයට නතු විය යුතුයි වගේ අදහසක් ඒක. 
 
තවමත් ඇමරිකාවේ ආර්කිටෙක්චරල් ස්මාරකයක් විදිහට සැලකෙන, දවසකට සංචාරකයින් දහස්ගණනක් නැරඹීමට එන Falling water කියන විශිෂ්ට නිවස නිර්මාණය කරන්නේ ඔහුයි.  ඒ හැබැයි ටිකක් පස්සේ කාලෙක 1935 දී. 



Falling Water by Frank Lloyd Wright

Frank Lloyd Wright ට  සමාන්තරවම වගේ  පළමුවෙනි ලෝක යුද්ධේ ඉවරවෙනකොට ප්‍රංශයෙන් බිහිවෙනවා පසුකාලීනව ලෝ පතළ වෙන ආර්කිටෙක්ට් කෙනෙක්. එයාගේ නම ලේ කොබුසියර් (Le Corbusier). මොඩර්න් ආර්කිටෙක්චර් කියන ප්‍රවාහය මූව්මන්ට් එකක් විදිහට ස්ථානගත කරන්න මූලික වුණු කෙනෙක් තමයි කොබුසියර්. ලංකාවේ ලස්සන මිනෙට් ද සිල්වා එහෙම කොබුසියර් එක්ක එකට වැඩ කළා. තමන් විසින් කරපු නිර්මාණ වගේම විවිධ ප්‍රකාශන විදිහටත් කොබුසියර් තමන්ගේ දෘෂ්ටිවාදය එළියට දැම්මා. ගෙයක් කියන්නේ ජීවත්වෙන්න හදන මැෂින් එකක් (House is a mchine for living) කියන අදහස මුලින්ම ගෙනාවේ කොබුසියර් විසින්. එයා පැරණි මෝස්තර අලංකරණ සම්පූර්ණයෙන්ම බැහැර කරලා, සරල ජ්‍යාමිතික හැඩතල සහිතව ජීවත්වීම සඳහා මූලිකත්වය දෙන විදිහේ ගෙවල් නිර්මාණය කළා. එයා විසින් කරපු Villa Savoye නිවස මේකට ඉතාම හොඳ උදාහරණයක්. එයා මේ වගේ නිවාස කිහිපයක්ම පැරිස් නගරයේ තැන් තැන්වල නිර්මාණය කළා. 
 
ඊටත් පසු කාලෙක කොබුසියර් විසින් නිර්මාණය කරපු රොන්චැම්ප් දෙව්මැදුර (Ronchamp Chapel) ලෝක ඉතිහාසයේ බිහිවුණු ඉතාම අපූර්වතම නිර්මාණයක් විදිහට අදටත් පිළිගැනෙනවා. 
 
ඒ වගේම ජර්මනියේ ඉපදිලා පස්සේ ඇමෙරිකාවට ආපු ආර්කිටෙක්ට් කෙනෙක් වෙන Ludwig Mies van der Rohe, මොඩර්න් ආර්කිටෙක්චර් මූව්මන්ට් එකට ලොකු දායකත්වයක් දක්වපු කෙනෙක්. 

 

Barcelona Pavillion by Mies van der Rohe

Less is more  කියන, ආර්කිටෙක්චර්  ප්‍රගමනයේ වැදගත් සන්ධිස්ථානයක්. ජපන් සංස්කෘතිය ආශ්‍රිතව ගොඩනැගුණු Minimalist නැත්නම් අල්පේච්ඡ ලක්ෂණය භාවිතයක් විදහට අන්තර්ජාතික වශයෙන් මුලින්ම මතු කළේ Mies van der Rohe. එයා එයාගේ නිර්මාණවල පදනම විදිහට හැඳින්වූයේ Less is more කියන එකයි. යම්කිසි අවකාශයක් නැත්නම් ගොඩනැගිල්ලක් හැකිතරම් අවම අංගෝපාංග සහ විස්තරවලින් යුතු විය යුතු බවත්, එම අල්ප බව තුළින් මතුවෙන නිශ්චලත්වය හෝ පහන් බව එහි හරය බවත් වගේ අදහසක් තමයි එයා මතු කළේ. පසුකාලීනව ග්‍රැෆික් නිර්මාණ, අනෙකුත් Design, ආර්ට් වගේ ගොඩක් දේවල්වලට මේ ආර්කිටෙක්චරල් සංකල්පය බලපෑවා. පස්සේ කාලෙක Less is bore වගේ විවිධ මතවාද හරහා මේ අල්පේච්ඡතාවාදය උපහාසයට ලක්වුණත් තවමත් Minimalism හෝ Less is more කියන සංකල්ප ප්‍රබල මතවාද විදිහට ආර්කිටෙක්චර් සහ වෙනත් Design මාධ්‍යවල භාවිත වෙනවා. 


මට මුලින් ඕනේ වුණේ Contemporary ආර්කිටෙක්චර්, Tropical Modernism වගේ අදහස් ගැන ටිකක් කතා කරන්න. නමුත් මොඩර්න් ආර්කිටෙක්චර් කියන එක ගැන මූලික  අදහසක් නැතුව ඒ සංකල්ප ගැන  කතා කරන එක ටිකක් හොඳ මදි කියල හිතුණා. අපි ඉදිරියට ඒ මාතෘකා ගැන කතාකරමු.
 
©සුමුදු අතුකෝරල (26/06/2021)


Comments

Post a Comment

Popular posts from this blog

Archi චැට් (විස්ස) - ඉර එළිය සහ ආර්කිටෙක්චර්

Archi චැට් (විසි තුන) වැස්ස සහ ආර්කිටෙක්චර්

Archi චැට් (විසි එක)   මඳ පවන සහ ආර්කිටෙක්චර්