Archi චැට් (විසිදෙක)
Archi චැට් (විසිදෙක)3D
සාමාන්‍යයෙන් ආර්කිටෙක්චර් වෘත්තියේදි 3D සඳහා විවිධ මෘදුකාංග භාවිතා කරනවා. 3D Max, Revit, Sketch-up සහ Auto CAD 3D ඒ අතරින් ප්‍රධාන භූමිකා නිරූපණය කරනවා.
වෛද්‍යවරයෙකු වන මගේ client කෙනෙක්, සමග ඔය 3D ගැන කතාකරන කොට එයා නියම අදහසක් කිව්වා.
"මගේ ගෙදරට 3D එකක් කරන්න එපා. මට අවශ්‍ය කරන සැලසුම් විතරක් දෙන්න. මොකද මට මගෙ ගෙදර ඇත්තටම හදන්න කලින් දකින්න ඕනේ නෑ. මම ආසයි මගෙ ගෙදර හැදෙන විදිහ ටිකෙන් ටික enjoy කරන්න. ඒක සම්පූර්ණ වෙලා තියෙන විදිහ දැක්කොත් ඒ ක්‍රියාවලිය මට හරියට විඳින්න බැරිවෙයි."
මේක සාමාන්‍යයෙන් අපිට අහන්න ලැබෙන අදහස්වලට වඩා ප්‍රතිවිරුද්ධ අදහසක්. ඒත් ඇත්තටම ලස්සන අදහසක්. ඇත්තටම මේ මාතෘකාව ගැන ලියන්න හිතුණේ ඒ හින්දම තමයි.
පරිගණක යුගය එන්න කලින්, ගොඩනැගිල්ලක් නිර්මාණ කිරීමෙන් පසු සැලසුම්කරණය කළෙත් අතින් නැත්නම් freehand සැලසුම් විදිහට. ඒ ජ්‍යාමිතික සැලසුම්වලට අමතරව, පර්යාවලෝකන දර්ශන නැත්නම් අපි කියන perspective හෝ bird's eye view එහෙමත් අතින් ඇඳලා පෙන්නුවා. ඒ ක්‍රමවේද ඉතාම සජීවීයි. අනිත් ක්‍රමය තමයි ගොඩනැගිල්ලේ කුඩා ප්‍රමාණයේ අනුරුවක් නැත්නම් miniature model එකක් හදන එක. කාඩ්බෝඩ්, තහඩු, කඩදාසි, වගේ විවිධ අමුද්‍රව්‍යවලින් ඒ අනුරුව හැදෙනවා. ඔය ක්‍රමයේම පරිගණකමය දිගුව තමයි 3D කියලා කියන්නේ. හැබැයි 3D මෘදුකාංගයකින් ගොඩනැගිල්ලක් නිර්මාණය හෝ සැලසුම් කරන්න බෑ. ගොඩනැගිල්ල සැලසුම් වෙන්නේ අපි කලින් කතා කරපු මූලික සැලසුම් ක්‍රමවලින්.
ඉතිං මේ 3D අපි නිවැරදි අවබෝධයක් සහිතව පාවිච්චි කළ යුතුයි. ගොඩක් වෙලාවට කෙරෙන්නේ ගොඩනැගිල්ලක් ලස්සන වෙන්න විවිධ මෘදුකාංග හරහා ඒ 3D නිර්මාණ අතිශයෝක්තියට නංවනවා. ඒක සජීවී බව ඉක්මවා විවිධ ආලෝක තත්ව, විවිධ පසුබිම්, විවිධ සැබෑ නොවන කෝණවලින් විචිත්‍රවත් කරනවා. එහෙම වුණාම ඒ ගොඩනැගිල්ල නිම වුණාම අර මුලින් දැකපු 3Dවල තිබ්බ පෙනුමම නොඑන්න පුළුවන්.
කලාකරුවෙක් චිත්‍රයක් අඳින්න කලින් ඒ චිත්‍රය පරිගණකය හරහා නිර්මාණය කරගෙන ඒක බලාගෙන අඳින්නේ නෑ, සංගීත නිර්මාපකයෙක් වුණත් එහෙමයි, චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙක් වුණත් පාවිච්චි කරන්නේ තිර පිටපත සහ වැඩිම වුණොත් දළ storyboard එකක් විතරයි. ආකිටෙක්ට් කෙනෙක් වුණත් මූලික වශයෙන් නිර්මාණය හිතේ මවාගන්නේ අපහැදිලි දළ රූප සටහනක් විදිහට විතරයි. පස්සේ ඒ අදහස සැලසුම් හරහා ටික ටික තහවුරු කරගන්නවා, ඔය අතරේ සෑහෙන කුරුටු ගෑම්, තමන් සමගම කරන තර්ක විතර්ක සහිත අමුතුම ගමනක් යනවා, ඔව් පැන්සල්, පෑන්, කඩදාසි සමග.
අනිත් දේ තමයි 3D රූප වැඩිපුර යොදා ගන්නේ ගොඩනැගිල්ලක බාහිර පෙනුම පෙන්වන්න. ඒත් ඇත්තටම ආකිටෙක්චර්වලදී වැදගත් අවකාශ නිර්මාණය කිරීම නැත්නම් Space making. ඒ හරහා තමයි ඇසට ප්‍රිය සහ අවට පරිසරයට ගැළපෙන බාහිර ආකෘතියක් ගොඩනැගිල්ලකට ලැබෙන්නේ. එහෙම නැතුව ඒකෙ අනිත් පැත්ත නෙමෙයි. ඒත් අද දකින්න ලැබෙන ගොඩක් 3D නිර්මාණවලින් කෙරෙන්නේ පිටත පෙනුම ඉතාම ආකර්ෂණීය විදිහට ගොඩ නගන එක. ඒක අමාරු වැඩක් නෙමෙයි. ඒත් අභියෝගය තියෙන්නේ කොහොමද හොඳ අවකාශමය ගලනයක් ගොඩනැගිල්ලක් ඇතුළත පිහිටුවන්නේ කියන එකයි.
මෙතනදි මම නැවත මතක් කරන්න ඕනේ. මම 3D විරුද්ධවාදියෙක් නෙමෙයි. මමත් සමහර නිර්මාණ පැහැදිලි කිරීම සඳහා 3D රූප යොදාගන්නවා. ඒක දැනගෙන, හරියටම එහි උපයෝගීතාව පිළිබඳ පරිස්සමින් යොදාගන්න ඕනේ. 3D නැතුව ගොඩනැගිලි නිර්මාණය කරන්න පුළුවන්, ඉදි කරන්නන් පුළුවන්. මම හිතනවා එහෙම කරන එක හරිම ආස්වාදනීය ක්‍රියාවලියක් කියලා.
(මගේ ඉතාම හිතවත් 3D නිර්මාණය කරන මිතුරන් මේ ලිපිය ගැන උරණ නොවේවියැයි මම හිතනවා. ඇත්තටම 3D කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරන්නයි මේ ලිපිය ලියන්න හිතුවේ. )
© සුමුදු අතුකෝරල (28/09/2021)
well explained
ReplyDelete