Archi චැට් (දාහතර) Freehand
Archi චැට් (දාහතර)
Freehand
ඉතාම අපූරු ගොඩනැගිලි නිර්මාණය කරන ඕස්ට්රේලියාවේ ජීවත්වෙන Glenn Murcutt කියන ආර්කිටෙක්ට් මීට අවුරුදු කීපයකට කලින් ලංකාවට ආවෙ වාස්තුවිද්යඥයන්ගේ ආයතනයෙන් සංවිධානය කරපු සැසියක කතාවක් පවත්වන්න. ඒකෙදි එයා කිව්වා එයා තමන්ගෙ නිර්මාණවල සැලසුම් අඳින්නේ Freehand නැත්නම් අතින් කියලා. එයා ඒකට ලස්සන හේතුවක් කිව්වා. තමන්ගෙ මොළයට එන අදහසක් ඉක්මනින්ම සටහන් කරගන්න පුළුවන් ක්රමය අතින් ඇඳීම කියන එකයි එයා කිව්වේ. ජීව විද්යාත්මකව බැලුවමත් ඒක ඇත්ත තමයි. අතේ තියෙන පැන්සලකින් කඩදාසි කොළයක් උඩ ඇඳෙන තරම් වේගවත්, අවංක කුරුට්ටක් මවුස් එකක් හරහා පරිගණකයකට ගිහින්, තවත් මෘදුකාංගයක් තුළින් ඇඳෙනවට වඩා කොච්චර හොඳද?
ඔව්! මේකට හැමෝම එකඟවෙන එකක් නෑ. ඒත් මම ඒක ඕනෙවටත් වඩා විශ්වාස කරනවා. ඒ ඇයි කියලා අපි දැන් කතා කරමු. මේ ගැන විශේෂයෙන් කතාකරන්න හිතුවේ ගොඩක්ම ආර්කිටෙක්චර් වෘත්තියක් විදිහට ඉගෙන ගන්න ශිෂ්යයන් වෙනුවෙන්.
මෑතකාලීනව පේන්න තියෙන ලොකු අඩුපාඩුවක් තමයි ආර්කිටෙක්චර් ඉගෙනගන්න ගොඩක් ශිෂ්ය ශිෂ්යාවන් පරිගණක ගැන වැඩි විශ්වාසයක් තැබීම. Auto CAD, AUTO CAD 3D, SketchUp, Revit, 3D Max වගේ අනේකවිධ මෘදුකාංග නිසා ගොඩක් දෙනෙක් නිකම්ම කඩදාසිවල පෑනකින් හෝ පැන්සලකින් කුරුටු ගාන එක අමතක කරලා. මොකක් හරි නිර්මාණයක් කරන්න ලැබුණාම කෙලින්ම පරිගණක තිරය මත ඒක අඳින්න පටන් ගන්නවා. ඒක ඉතාම අවාසනාවන්ත තත්වයක්. මොකද අතකින් දෙයක් කුරුටු ගෑම කියන්නේ අවුරුදු දහස් ගාණක් තිස්සේ මිනිසා විසින් පුරුදු කරගෙන ආපු ශක්යතාවක්. ලෝකෙ ඕනෑම ඉසව්වක තවමත් අතින් චිත්ර අඳින කලාකරුවන්ට තියෙන ඉල්ලුම සහ වටිනාකම වැඩි වෙලා මිසක් අඩු වෙලා නෑ. ආර්කිටෙක්ට්ලටත් ඒක පොදුයි.
පරිගණක තිරයක design කිරීම නැත්නම් නිර්මාණය කිරීම තුළ ඇති ලොකුම වරද තමයි අපිට නිවැරදි පරිමාණයක් සහ සම්පිණ්ඩනයක් ඒකාකාරීව පවත්වාගන්න බැරි වීම. අපි කඩදාසියක යමක් ඇන්දොත් අපිට පුළුවන් එකම පරිමාණයක් තියාගෙන නිර්මාණය කරන්න. ඒත් පරිගණක තිරයකදී අපිට ඒක Zoom in, Zoom out කරන්න වෙනවා. එතකොට අපිට පරිමාණය සහ සම්පිණ්ඩනය නැත්නම් proportion කියන දේවල් මග ඇරෙනවා. ඉතින් වඩාත්ම උචිත ක්රමය තමයි මූලික නිර්මාණය කටු සටහනක් විදියට, හිතට එන Abstractම අදහස් විදිහට කඩදාසියක හරි තමන්ගේ Sketch book එකක හරි කුරුටු ගෑම, නැත්නම් Scribble කිරීම. එතනදි පරිමාණය එච්චර වැදගත් නෑ. හිතට එන අපූර්වම සහ ක්ෂණික Abstract ideas ටික සටහන් කරගැනීම තමයි වැදගත්. එතනින් පස්සේ හොඳට කොළයක්, අඩි කෝදුවක් නැත්නම් Ruler එකක් හරි Scale එකක් හරි අරගෙන (ඒකත් නැතුව නම් ඊටත් හොඳයි) ඒ දළ අදහස පිළිවෙළකට Draft කරගන්න පුළුවන්. දැන් කවුරු හරි කියයි "අපෝ හෙන Old School නෙ කියලා. ඒත් Architecture වලදි අතින් ඇඳීම කවදාවත් Old School වෙන්නේ නෑ.
කීප වරක් තමන්ට සතුටු විය හැකි මට්ටමට ඒ අභ්යාසය කිරීමෙන් පස්සේ ඒක පරිගණකය හරහා Auto CAD හෝ Revit සැලැස්මක් විදිහට වර්ධනය කරගැනීමේ වරදක් නෑ. මම වුණත් අතින් Sketch කරලා මට දැන් ඇති මේක පරිගණක ගත කරන්න පුළුවන් කියලා හිතුනම ඒක CAD හරි Revit එකට හරි දානවා. තාක්ෂණය ඉතාම වැදගත්, හැබැයි Tool එකක් විදියට විතරයි.
මට හිතෙන්නේ දක්ෂ Graphic Designer කෙනෙක්, Production Designer කෙනෙක් වුණත් වැඩ කරන්නේ ඔය විදිහට. ආර්කිටෙක්ට් කෙනෙක් විදියට මේ ක්රියාවලිය ඉතාම ඉතාම ඉතාම වැදගත්. ලෝකෙ බිහිවෙලා තියෙන හුඟක් අපූර්ව ගොඩනැගිලිවලට මුල්ම අදහස ඇවිත් තියෙන්නේ ඉතාම ක්ෂණික කුරුටු සටහනකින්. ඔබ දන්න ගොඩනැගිලි නිර්මාණවල Original Sketches කියලා Google එකේ හොයලා බැලුවොත් ඒකට ඕන තරම් උදාහරණ ඇති. ඒ මොකද එහෙම අපූරු අදහස් එන්නේ හරිම ක්ෂණිකව, අපැහැදිලි දළ රූපයක් විදිහට. අන්න ඒ වෙලාවට ඒක ඇඳගන්න ඕනේ.
ඊළඟ කාරණාව තමයි ඔය විදියට කොච්චර පරිගණක ආශ්රිතව සැලසුම් ඇඳගෙන ගියත් වැඩබිම්වලදි සමහර නිර්මාණාත්මක වෙනස් කම් කරන්න වෙනවා. එතකොට ඒ Detail එකක් හරි Revision එකක් හරි එවෙලෙම අතින් ඇඳලා දෙන්න වෙනවා. ආයෙ ගිහිං පරිගණකයෙන් හදලා එවනකොට ප්රමාද වැඩිවෙන්න පුළුවන්. ඒ වගේම සමහර සවිස්තර අතින් අඳින්නේ නැතුව තවත් කෙනෙකුට විස්තර කරන්නම බෑ. අනිත් එක ආර්කිටෙක්ට් කෙනෙකුට තමන්ගෙ "වැඩ පෙන්නන්න" මීට වඩා හොඳ අවස්ථාවක් එන්නෙ නෑ. ඉතිං ඒ වගේ වෙලාවට තමන්ගෙ පෑන් පැන්සල් මිටිය ඇදලා අරගෙන, කඩදාසියක ඒ අවශ්ය දේ අතින් කුරුට්ටක් විදිහට හරි, ඉතා නිවැරදි රූප සටහනක් විදියට හරි ඇඳලා පෙන්නනකොට වටේ ඉන්න හැමෝම ඇස් දල්වා ගෙන බලාගෙන ඉන්න විදිය! ඒ වගේ අවස්ථාවක් ආර්කිටෙක්ට් කෙනෙක් කොහොමවත් මගනොහැරිය යුතුයි. ඒවගේම එහෙම අතින් ඇඳලා දෙන සටහනක් වෙන කිසිම දේකට වඩා වටිනාකමකින්, වගකීමකින් ඕනැම කෙනෙක් බාරගන්නවා.
එහෙම නොවුණොත් Site Visitවලදි අපි ගන්න තීරණ Logbook එකේ සටහන් කරලා අත්සනක් දාලා අනුමත කරන්න කිව්වම උඩ බලාගෙන ඉන්න තමයි වෙන්නේ.
අනිත් දේ තමයි කිසියම් Detail එකක්, අදහසක්, රූපයක් මතක තියා ගන්න, ඉක්මනින් සටහන් කරගන්න පුළුවන් ක්රමය තමයි කුරුටු ගෑම. තමන් දකින හොඳ Architectural detail එකක් තමන්ගෙ Sketch පොතේ සටහන් කරගැනීම තමයි හොඳම ක්රමය. එහෙම තමයි ආර්කිටෙක්චර් හොඳටම ඉගෙනගන්න පුළුවන්.
මේකෙන් කියවෙන්නේ නෑ ආර්කිටෙක්ට්ලා ඔක්කොම චිත්ර ශිල්පියො වෙන්න ඕනෙ කියලා. චිත්ර කියන්නේ වෙන දෙයක්, ආර්කිටෙක්චර් කුරුටු කියන්නේ තව දෙයක්. ගොඩනැගිල්ලක කිසියම් Detail එකක් ආර්කිටෙක්ට් කෙනෙක් නොවන තවත් කෙනෙකුට දැනෙන විදිහට කුරුට්ටක් මාර්ගයෙන් විස්තර කිරීම තමයි වෙන්න ඕනේ. ඒක හරිම ලස්සන, සර්ව සම්පූර්ණ චිත්රයක් වෙන්න අවශ්ය නැහැ.
හා, දැන් හැමෝම Sketch පොත අරගෙන කුරුටු ගාන්න පටන් ගන්න.
© සුමුදු අතුකෝරල [07/05/2021]
Comments
Post a Comment