Archi චැට් (නමය) අඩු වියදම්

Archi චැට් (නමය)
අඩු වියදම්
අඩු වියදමකින් ගෙයක් හදන්නේ කොහොමද? වියදම අඩුවෙනවා කියන්නේ ගෙදරක තත්වය, නිමාව, පෙනුම වගේ දේවලුත් පහතට වැටෙනවාද? මිල අධික ක්රියාවලියක් වෙන 'ඉදිකිරීම්' ඇත්තටම අඩු වියදමින් කරන්න පුළුවන්ද? ආර්කිටෙක්ට්ලට අඩු වියදමකින් හදන්න පුළුවන් ගෙවල් නිර්මාණය කරන්න බැරිද?
මේ ගැටලු අපේ වගේ රටක අපි නිතරම මුහුණ දෙන තත්වයක්.
මේ ලියන්න යන අදහස් ටික තර්කයට, විවාදයට ලක්වෙන්න පුළුවන්. ඒත් කාලෙක ඉඳන් මම මුහුණදෙන සහ මගේ හිතේ එකතු වුණු මේ අදහස් ටික එළියට දාන්න ඕනෙ කියලා හිතුවා.
වර්තමානයේ ගෙයක් හදන්න යන වියදම දළ වශයෙන් කීයද කියලා ප්රමාණ සමීක්ෂකයෙකුගෙන් (Quantity Surveyor) ඇහුවොත් කියන්නේ එක වර්ග අඩියක් සඳහා රුපියල් 7500ක් - 10000ක් අතර වියදමක් යනවා කියලයි. මොකද සාමාන්යයෙන් පිළිගත්ත අමුද්රව්ය සහ නිමාවන් සහිතව ගෙයක් හැදුවොත් ඒ වගේ වියදමක් යනවා. අඩුම ගාණේ වර්ග අඩියකට රු. 5000ක් වත් වියදම් වෙනවා.




ඔව්, අඩු වියදමකින් ගෙයක් හදන්න පුළුවන්. හැබැයි එහෙම කිව්ව ගමන් කාමර පහක හයක විතර, වහලවල් හයක විතර, සුදු පාටින් පාට කරපු, ලියවැල් මෝස්තර සහිත, විශාල ලී ප්රංශ ජනේල, මාබල් වගේ පොළව සහිත මන්දිරයක් ඔළුවෙ තියාගෙන නම් ඔය වැඩේ කරන්න බෑ. අඩු වියදමකින් ගෙයක් හදන්න නම් ඔය සිහින මාලිගාවෙන් එළියට එන්නම වෙනවා.
සාමාන්යයෙන් ඉදිකිරීමක් කරද්දී කොහොමත් වැළැක්විය නොහැකි වියදම් ටිකක් තියෙනවා. උදාහරණ වශයෙන් ගත්තොත් ගෙදරක පාදම නැත්නම් foundation එක ඒ ගෙදර රඳවාගෙන ඉන්න සුදුසු සවි ශක්තියෙන් තිබිය යුතුමයි. ඒ ඒ දේශගුණික කලාපවලට අනුව අව්ව, වැස්ස වගේ පාරිසරික සාධකවලට ඔරොත්තු දිය යුතුමයි. ආරක්ෂාව ගැන හැඟීමක් තිබිය යුතුමයි.
ගෙදරක් ඉදිකිරීමෙදි වියදම අඩු කරන්න පුළුවන් මූලිකම දේවලින් එකක් තමයි ගෙදර තනි මහල් විදිහට නිර්මාණය කරන්න පුළුවන්ද කියන එක. සාමාන්යයෙන් ඉඩ කඩ තියෙන ඉඩමක් නම් පොඩියට තනි මහලේ නිවසක් ඉදිකරන කොට ලොකු වියදමක් ඉතුරු වෙනවා. කොන්ක්රීට් කණු, පාදම, කොන්ක්රීට් තට්ටු වගේ ගොඩක් වියදම් යන අංග මග අරින්න පුළුවන් තනි තට්ටුවේ ගෙදරකදී. ඒත් වර්තමාන ඉඩම් මිල ගණන් නිසා හුඟ දෙනෙකුට ඉතාම කුඩා ප්රමාණයේ ඉඩමක් තමයි මිලදී ගන්න වෙන්නේ. විශේෂයෙන් නගරබද ප්රදේශවල නම් ගෙයක් හදන ඉඩමක් පර්චස් හය, අට, දහය වගේ මිසක් ඊට වැඩි වෙන්නේ කලාතුරකින්. ඒකට ප්රධාන හේතුව තමයි ඉඩම්වල මිල අධික වීම. ඒ හින්දා ඒ වගේ කුඩා ඉඩම්වල තනි මහලේ නිවසක් ඉදිකිරීම අපහසුයි. ඒ නිසා හොඳම දේ මහල් දෙකක නිවසකට සීමා කර ගැනීම.
ඊළඟට ප්රධානම දේ තමයි, නිවසේ ප්රමාණය නැත්නම් වර්ගඵලය අවම කර ගැනීම. තමන්ට අත්යවශ්යම දේවල් පමණක් නිවසට ඇතුළත් කර ගැනීම. බොහෝ දෙනෙක් නිවසක් නිර්මාණය කරගන්න එන්නේ තමන්ටත් වඩා, තමන්ගේ නිවසට එන්න ඉන්න නෑදෑ හිත මිතුරන් සහ දාන මාන පිංකම් වගේ දේවල් සඳහායි. ඒත් ඇත්තටම ඒ වගේ දේවල් නිසා ගෙදර ප්රමාණය විශාල කරගැනීම අපරාධයක්. ඕනෙ නම් අවුරුද්දකට සැරයක් ඒ වගේ දෙයක් කෙරෙයි, එතකොට ඒක කරන්න වෙන ක්රමවේදයක් හදා ගන්න පුළුවන්. අනිත් දේ තමයි ඉස්සර වගේ නෙමෙයි දැන් පිට ගෙදරක නවතින්න කෙනෙක් එන්නේ කලාතුරකින්. එනවා නම් ඒ එන අය වෙනම කාමරයක්, නානකාමරයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඉතාම සමීප මිතුරෙක් හරි, නෑදෑයෙක් විතරයි ගෙදර කලාතුරකින් හරි නවතින්න එන්නේ. තවත් එකක් තමයි නාන කාමර වැඩිකර ගැනීම. නිදන කාමරවලට සම්බන්ධ නානකාමර ලංකාව වගේ රටවල්වලට එච්චරම සුදුසුයි කියල කියන්න අමාරුයි. ඒ නිසා මහල් දෙකකින් යුතු නිවසක් නම් මහල් දෙකට පොදු නානකාමර දෙකක් තිබුණා නම් ඒ හොඳටම ප්රමාණවත්. වර්තමානයේ නානකාමරයක් හදන්න යන වියදම ඉතා අධිකයි. ඒ නිසා ගෙදරට අත්යවශ්යම ඉඩකඩ පමණක් සැලැස්මට ඇතුළත් කරගෙන නිවසේ වර්ග ප්රමාණය අවම කිරීම ඉදිකිරීම් වියදම අඩුකරන්න පුළුවන් හොඳම ක්රමයයි.
ඊළඟ දේ ගෙදර හදන්න යොදාගන්න අමුද්රව්ය. සාමාන්යයෙන් ගොඩනැගිල්ලක් ඉදිකරද්දි, මැටි ගඩොල්වලින් අඟල් 9 බිත්ති, කොන්ක්රීට් කණු, කොන්ක්රීට් ස්ලැබ්, මැටි උළු වහල, සිමෙන්ති කපරාරු, පොටි, තීන්ත ගෑ බිත්ති, තේක්ක දොර ජනෙල්, ටයිල් හෝ මාර්බල්, ග්රැනයිට් පොළව තමයි භාවිතා වෙන්නේ. ඔය සම්ප්රදායික වට්ටෝරුවෙන් එළියට එන්නේ එහෙමත් තැනකදි තමයි. ඔය වට්ටෝරුව ඇතුළෙ ඉඳන් නම් අඩුවිදමට ගෙදරක් හදනවා කියන එක බොරු. ඔය හැම සාම්ප්රදායික අමුද්රව්යයක් වෙනුවටම ආදේශක අමුද්රව්ය භාවිතා කරලා තමයි වියදම අඩුකරගන්න පුළුවන් වෙන්නේ.
ගඩොල් වෙනුවට ආදේශක විදිහට ගන්න පුළුවන් ගොඩක් වෙනත් නව නිර්මාණ දැන් වෙළඳපොළේ තියෙනවා, Eco brick, Light weight cement blocks වගේ ගඩොල්වලින් කපරාරු, පොටි, තීන්ත නැතුව බිත්ති ඉදිකරන්න පුළුවන්. හැබැයි ලොකු ඉල්ලුමක් නැති නිසා ඒ අමුද්රව්ය හොයාගෙන යන්න වෙනවා. ඒ වගේම 'සිහින මන්දිර' හීනෙනුත් එළියට එන්න වෙනවා. සාමාන්ය සිමෙන්ති බ්ලොක් ගල්වලින් උනත් වෙනස් විදිහක ගෙයක් නිර්මාණය කරන්න පුළුවන්. අලුත් දොර ජනෙල් වෙනුවට කඩපු පරණ ගෙවල්වල දොර ජනෙල් (Antique නෙමෙයි) භාවිත කරන්න පුළුවන්. ඒකට තියෙන බය, සැකය නැතිකරගන්න ඕනේ. ඔය ක්රමයෙන් වියදම සහ කාලය හොඳටම අඩුකරගන්න පුළුවන්. මොකද ලී දොර ජනෙල් කියන්නේ අධික වියදමක් යන ක්රියාවලියක්. ICC සහ NERD වගේ ආයතනවලින් නිර්මාණය කරලා නිෂ්පාදනය කරන පෙරසවි කොන්ක්රීට් ක්රම නිවැරදිව භාවිත කිරීමෙන් කොන්ක්රීට් භාවිත කරන්න වෙන වියදම් අධික අවස්ථා මග ඇර ගන්න පුළුවන්. හැබැයි ආර්කිටෙක්ට් කෙනෙක් එක්ක නිවැරදිව සහ නිර්මාණශීලීව ඒක කරන්න ඕනේ. තමන්ගේ ආර්කිටෙක්ට්ට වුණත් ඔය වගේ අභියෝග භාරදෙන එක හොඳයි. එතකොට අලුත් නිර්මාණ බිහිවෙනවා.
බොහෝ දෙනෙක් හැමවෙලේම උත්සාහ කරන්නේ සෞම්ය, චීස් කැපුවා වැනි ගෙයක් හදන්න. ඒත් අපේ ජීවිත වුණත් එච්චර සෞම්ය නැහැ. ඉතින් අපේ ගෙවල් එහෙම වෙන්න ඕනෙ නැහැ. Modern Rustic කියලා සංකල්පයක් තියෙනවා. ඒ කියන්නේ ගොඩනැගිල්ලක් සාම්ප්රදායික සෞම්ය ස්වභාවය වෙනුවට ටිකක් රළු නිමාවකින් නිර්මාණය කිරීම. ගඩොල් ඒ විදිහටම පිටතට පෙන්වීම, කොන්ක්රීට් මතුපිට , ස්ලැබ්වල යට පැත්ත ඒ කොන්ක්රීට් ස්වභාවයෙන්ම තියෙන්න ඇරීම වගේ උපක්රම මගින් ගෙදරකට අපූරු පෙනුමක්, ගැඹුරක් වගේම වියදමත් අඩුකරගන්න පුළුවන්.
මේ හැම දෙයක්ම මැද්දේ මේ වගේ ගෙදරක් නිර්මාණය කරලා ඉදිකරන්න ගියාම වෙන ලොකුම අභියෝගය තමයි කොන්ත්රාත්කරු, බාස් මහත්වරු සහ කෙනෙක් ගෙදරක් හදද්දී උපදෙස් දෙන්න, ඇදකුද හොයන්න බලාගෙන ඉන්න මකබාස් නෑදෑ හිතමිතුරන්ට මේ නිර්මාණය තේරුම් කරන එක. ඒක තමයි අමාරුම වැඩේ. ඒ අභියෝග හැම එකකටම බය නැතුව මුහුණ දෙන්න පුළුවන් නම් අඩු වියදම් ලස්සන ගෙයක් හදාගන්න එක අමාරු නෑ. ඔය අතරේ, Shipping container, ඉවත දමන කෝච්චි පෙට්ටි, බස් වගේ මෙකී නොකී දේවල් ගෙවල් බවට හරවන්න තරම් නිර්භීත අය, ආර්කිටෙක්ට්ලා ඉන්නවා නම් ඒ ගැනත් පසුබට වෙන්න එපා. බයනැතුව ඒවට අතගහන්න. ගෙදරක් කියන්නෙම තාවකාලික නවාතැනක්, ජීවිතෙත් ඒ වගේ නේ.
මෙතනදි පොඩි චෝදනාවක් කරන්නත් ඕනේ ආර්කිටෙක්ට්ලට. හැමෝටම නෙමෙයි. ඒත් අඩු වියදමකින් නැත්නම් කෙනෙකූගේ අතේ තියෙන මුදලට අනුව ගෙයක් හදන එක ගැන ආර්කිටෙක්ට්ලා විදිහට අපිත් තව අත්හදා බැලීම්, රාමුවෙන් පිටත සිතීම කරන්න ඕනේ. ඔව් ඇත්ත, ඒ වගේ දෙයකට අපිට අවස්ථා ලැබෙනව අඩුයි. ඒත් ඒ අභියෝග හොයාගෙන ගිහින් උදාහරණ විදියට පෙන්නන්න පුළුවන් නිර්මාණ අපි හැමෝම නිර්මාණය කරන්න ඕනේ.
©සු [17/03/2021]

Comments

Popular posts from this blog

Archi චැට් (විස්ස) - ඉර එළිය සහ ආර්කිටෙක්චර්

Archi චැට් (විසි තුන) වැස්ස සහ ආර්කිටෙක්චර්

Archi චැට් (විසි එක)   මඳ පවන සහ ආර්කිටෙක්චර්