Archi චැට් (දහය) ජෙෆ්රි බාවා
Archi චැට් (දහය)
ජෙෆ්රි බාවා
ජෙෆ්රි බාවා කියන්නේ ලංකාවේ ආර්කිටෙක්චර් නූතන පුරාවෘත්තයේ මග හැර යා නොහැකි සන්ධිස්ථානයක්. දැන් වෙනකොට ජෙෆ්රි බාවා ගැන සෑහෙන්න ලියවිලා තියෙනවා. ඒ ගොඩක් ලියවිලා තියෙන්නේ ඉංග්රීසි භාෂාවෙන්. මමත් ඇතුළුව කීප දෙනෙක් සිංහලෙන් ජෙෆ්රි බාවා ගැන විවිධ ලිපි පළ කරලා තියෙනවා. ඒත් 'බාවා චැප්ටර්' එකක් නැතුව 'Archi චැට්' ලිපි මාලාව සම්පූර්ණ වෙන්නේ නෑ. ඉතිං මේ දහවැනි 'Archi චැට්' එක බාවා මහත්තයා වෙනුවෙන්.
"බාවා ඉවරයි", "බාවා අධිපති පන්තියේ මතවාදියෙක්", "බාවා වැඩ කළේ ධනපති පන්තියට විතරයි", "බාවා සාමාන්ය ජනතාව වෙනුවෙන් කිසිම දෙයක් කරපු නැති ආර්කිටෙක්ට් කෙනෙක්", "බාවා නිසා ලංකාවෙ අනිත් දක්ෂ ආර්කිටෙක්ට්ලා මතු වුණේ නෑ", "බාවාගෙන් පස්සේ ගොඩක් ආර්කිටෙක්ට්ලා බාවා ආර්කිටෙක්චර් සම්ප්රදායෙම අනුගාමිකයන් වුණා මිසක් ඒ රාමුව බින්දෙ නෑ", "බාවාගෙ ගොඩනැගිලිවල අවකාශ හරිම මූසලයි, හිස්", "බාවා ලංකාවේ පරණ ආර්කිටෙක්චර් කොපි කළා", "බාවා ඉංග්රීසියෙන් හැදිලා වැඩිලා, ඉංග්රීසියෙන් ඉගෙනගෙන ඉංග්රීසියෙන්ම වැඩ කළා" "බාවා ගැන ලියන කියන එක නවත්තපියව්" " බාවා දෙවියෙක් නෙමෙයි" "ෆක් බාවා" "බාවා ඉවරයි" වගේ නානාප්රකාර විදිහට බාවා ලංකාව ඇතුළේ මෑතකදි විවේචනයට ලක්වෙනවා. මේ ගොඩක් විවේචන මට ඔය විදිහටම ඇහුණ, කියවපු සහ කවුරුන් හෝ මට කියපු දේවල්.
ඒ ගොඩක් විවේචන එන්නේ ද්වේශයක් එක්ක, සමහර වෙලාවට ඉරිසියාවක් එක්ක හරිම සාහසික විදිහකින්. මට හිතෙන්නේ ජෙෆ්රි බාවා ඒ විදිහට ප්රතික්ෂේප කරන්න, විවේචනය කරන්න අපි තාම හරියට ජෙෆ්රි බාවා කියවගෙන නෑ. හොඳට බැලුවම පේනවා ඉංග්රීසි භාෂාවෙන් බාවා ගැන ඔච්චර සාහසික විවේචනයක් ඇවිත් නෑ. ජෙෆ්රි බාවාට එහෙම බනින්න අපි බාවා විසින් කරපු නිර්මාණ, ඒවායේ වැදගත්කම, එයා අපූරු ආර්කිටෙක්ට් කෙනෙක් වෙන්නේ මොනවා නිසාද කියලා තවම හරියට අවබෝධ කරගෙන නෑ. දේශපාලනික වශයෙන් විවේචනයක් තියෙනවා, ඒක මමත් පිළිගන්න අදහසක්. ඒත් ශාස්ත්රීය වශයෙන්, ආර්කිටෙක්චර් ඇතුළේ, සෞන්දර්යාත්මක රීතීන් හරහා බාවා සහ ඔහුගේ ගෝලබාලයන් විවේචනය කරන්නේ පදනමක් නැතුව. අපි බාවා අයින් කරනවා නම් ඒත් එක්කම ලෙස්ටර් ජේම්ස් පීරිස්, ප්රේමසිරි කේමදාස, ලයනල් වෙන්ඩ්ට්, ස්ටැන්ලි කිරින්දේ, ඩේවිඩ් පේන්ටර්, සුනිල් ශාන්ත පවා බැහැර කරන්න ඕනේ. ආර්කිටෙක්චර් ඇතුළේ ජෙෆ්රි බාවා ඉන්නේ අන්න එතන.
1919 ඉපදුණු ජෙෆ්රි බාවා 28 වියැති තරුණයෙක් වෙනකොට නීතිය හදාරලා බැරිස්ටර් කෙනෙක් වෙලයි හිටියේ, තම මවගේ නික්මයාමෙන් පස්සේ බැරිස්ටර් වෘත්තියට සමු දුන් ජෙෆ්රි තරුණයා ලෝකෙ වටේ රවුමක් ගහනවා. ඇමරිකාව හරහා යුරෝපයට සේන්දු වෙන ජෙෆ්රි ඉතාලියේ නිර්මිත පරිසරය සමග ප්රේමයෙන් බැඳෙනවා. එයාගෙ ආර්කිටෙක්චර් සහ උද්යාන නිර්මාණකරණය ගැන ආශාව ලියලන්නේ එතනින්. ආයෙත් ලංකාවට එන ජෙෆ්රිට හරිම ආසාවක් තිබ්බා එයාගෙ අයියා බෙවිස් බාවා වගේම කොළඹින් පිට බංගලාවක් එක්ක ලොකු උද්යානයක් හදාගෙන සති අන්තයන් එහෙ ගත කරන්න. එහෙම තමයි එයා ලුණුගඟ ආශ්රිත අතහැර දමන ලද පරණ රබර් වත්තක් අරගෙන ඒකෙ තිබ්බ පරණ ගෙදර පිළිසකර කරගෙන, පොඩියට උද්යානය එහෙම සැලසුම් කරන්න ගත්තේ. එයාට ඕනෙ වුණේ ලංකාවට ගැළපෙන විදිහේ ඉතාලි උද්යානයක් හදාගන්න. දවසක් සති අන්තයේ එහෙට ආපු එයාගෙ මිතුරියක් මේ උද්යානයේ ලස්සන දැකලා,
"ජෙෆ්රි ඇයි ඔයා ආර්කිටෙක්චර් ඉගෙන ගන්නෙ නැත්තේ?"
කියලා ඇහුවාලු. ජෙෆ්රි බාවා නමින් ලංකා ඉතිහාසය වෙනස් කරන තරමේ ආර්කිටෙක්ට් කෙනෙක් බිහිවෙන්නේ ඔන්න ඔය ප්රශ්නය නිසයි. ඊට පස්සේ ජෙෆ්රි එංගලන්තෙට ගිහින් ආර්කිටෙක්චර් මුල ඉඳන් ඉගෙනගන්නවා. ලාංකික නිර්මාණ පසුබිමක් එකක් එයා යුරෝපයේ විවිධ ආර්කිටෙක්චර් සම්ප්රදායන් වැළඳගන්නවා. ගොඩනැගිල්ක ආකෘතිය වගේම ඊට එහා ගිය ආත්මයක් space ඒ කියන්නේ අවකාශයක් ඇතුළේ නිර්මාණය කරන්න පුළුවන් කියන එක එයා ගැඹුරෙන්ම අල්ලා ගන්නවා. ඒකට එයාට උදවු වෙන්නේ යුරෝපීය ගොඩනැගිලි. පස්සේ එයා ආයෙත් ලංකාවට ආර්කිටෙක්ට් කෙනෙක් වෙලා එන්නේ එයාගෙ ජීවිතේ හතරවෙනි දශකය පසුකරන ගමන්මයි. ඇවිත් එඩ්වඩ්ස් රීඩ් සහ බෙග් කියන බ්රිතාන්ය මූලයක් සහිත ආර්කිටෙක්චර් සේවා ආයතනයට එකතු වෙලා වැඩකරනවා.
ටික කාලෙකින් පස්සේ ජෙෆ්රි එඩ්වර්ඩ්ස් රීඩ් සහ බෙග් වෙතින් අයින් වෙලා තනියම ගමනක් යන්න පටන් ගන්න්වා. එහෙම කරන්න ඒ වෙනකොට එයාට වයස, අත්දැකීම්, සම්බන්ධතා වගේ දේවල් හොඳටම ප්රමාණවත්.ශක්යතාව කොහොමත් තිබුණා. ඔය අතරේ තමයි ජෙෆ්රිට උල්රික් ප්ලෙස්නර් කියන ඩෙන්මාර්ක් ජාතික ආර්කිටෙක්ට්ව හම්බවෙන්නේ. ජෙෆ්රි බාවාගේ සංකල්පත්, උල්රික් විසින් යෝජනා කරපු සමහර අදහසුත් එකතු වෙලා ලාංකීය වාස්තුවිද්යා කතාව වෙනස් කරන ගමනක් ඇරඹෙන්නේ අන්න එහෙමයි. ඔය 1960 දශකයේ මුල් කාලයේ. මේ ප්රවාහය තමයි "Tropical Modernism" කියල ලෝකයම කතාකරන ආර්කිටෙක්චර් සම්ප්රදායේ මුල. ගොඩක් විදේශීය විචාරකයෝ ජෙෆ්රි බාවා හඳුන්වන්නේ "Father of Sri Lanka's Tropical Modernism" විදිහට.
"ජෙෆ්රි බාවා අග්නිදිග ආසියාවේ පෙනුම වෙනස් කළා කිව්වොත් ඒක අතිශයෝක්තියක් නෙමෙයි. එයා ඒ කරපු වෙනස කොච්චර සියුම්ද කිව්වොත් අද වෙනකොට අපි ඒක සාමාන්ය දෙයක් බවට දකිනවා මිසක් ඒක අගය නොකරන තරම්. කෙටියෙන් කිව්වොත් බාවා නූතන වාස්තුවිද්යාව සුවිශේෂ ස්වභාවික සහ පාරිසරික පසුබිමක් තුළ නව්යකරණය කළා. ඒක විප්ලවීය වෙනසක් කියලා කෙනෙකුට නොපෙනෙන්න පුළුවන්, ඒත් මේ කලාපයේ වෙන කවුරුවත් එහෙම කරලා නෑ."
- Jonathan Green / Design Icons: Geoffrey Bawa/ 2017
"මුලින්ම Tropical Modernism කියන සම්ප්රදාය පණගැන්නුවේ සාම්ප්රදායික වාස්තු විද්යාවට ඉහළ සමාජයේ තිබුණු ඉල්ලුම සහ එවකට ලංකාවේ භාවිත වුණු ගොඩනැගිලි අමුද්රව්ය. ඒ ඇරඹුම ටිකෙන් ටික නූතනත්වය සහ සාම්ප්රදායික බව අතර මුසුවක් ලෙසිනුත්, බටහිර සහ පෙරදිග අතර සංකලනයක් ලෙසිනුත්, විධිමත් බව සහ සෞන්දර්යය අතර දෙබසක් ලෙසිනුත් ගොඩනැගෙමින් පිටත සහ ඇතුළත අතර සීමා බිඳිමින්, ගොඩනැගිල්ල සහ උද්යාන නිර්මාණය අතර සංවේදී ගනුදෙනුවක් විදිහටත් වර්ධනය වුණා. ඒ නව්ය සංකලනය නිවර්තන කලාපීය ජීවිතය සහ වෘත්තිය ජීවිතය පිළිබඳ නව මානයක් නිර්මාණය කළා."
- David Robsan / The Guardian / 2003
මේ ජෙෆ්රි බාවා විසින් කරන ලද විප්ලවය ලංකාවෙන් පිටත කියවුණු කදිම අවස්ථා දෙකක්.
මට හිතෙන විදියට ඔය සංකලනය බාවා විසින් තවත් පිම්මක් ඉස්සරහට රැගෙන ගියා. ඒක තමයි මිනිස් පරිමාවට අනුව ඒ ඒ අවකාශ ඉතා සූක්ෂ්ම ලෙස අත්දැකීම වෙනස් කරමින් අත්හදා බැලීම. ජෙෆ්රි විසින් නිර්මාණය කෙරුණු සෑම ගොඩනැගිල්ලකම පරිමාණය, සම්පිණ්ඩනය සහ පරිමාව මිනිසුන්ගේ උස මහතට අනුව ඉතා පරිස්සමින් නිර්මාණය වෙලා තියෙනවා. ජෙෆ්රි නිර්මාණය කරපු අවකාශ නිකම්ම නිකම් අවකාශ නෙමෙයි. ඒ හැම අවකාශයකම අර්ථයක් තියෙනවා. ඔබට ඒ අවකාශය තුළදී පිටත පරිසරය දැනිය යුතු විදිහ, ඔබ තවත් කෙනෙක් සමග සම්බන්ධ විය යුතු විදිහ, ඔබට දැනෙන හැඟීම, සුව පහසුව, හුදකලාව හෝ අනෙක් සෑම දෙයක්ම බාවා විසින් ඒ අවකාශවලට එන්නත් කළා. ඒකට එයා දිග, පළල, උස, ආර්කිටෙක්චර් සවිස්තර, පාට, අමුද්රව්ය වගේ සෑම වාස්තු විද්යාත්මක අංගයක්ම පරිස්සමින් පාවිච්චි කළා. ඒ අවකාශ නිර්මාණකරණය වෙනම Archi චැට් එකක්.
රුහුණ විශ්වවිද්යාලය, කණ්ඩලම හෝටලය, ගාල්ලේ ලයිට් හවුස් හෝටලය, බෙන්තොට බීච් හෝටලය, අලුත් පාර්ලිමේන්තු සංකීර්ණය, ලුණුගඟ, සීමා මාලකය, වාද්දුව බ්ලූ වෝටර් හෝටලය වගේ ඉතා විශිෂ්ට ආර්කිටෙක්චරල් නිර්මාණ කරපු ජෙෆ්රි බාවා විසින් කරන ලද ඊනා ද සිල්වා නිවස, බගතලේ පාරේ නිවස, ජයවර්ධන නිවස, අල්විස් නිවස වගේ ගෘහ නිර්මාණත් ඔහුගේ නිර්මාණ සොයා යන්නෙකුට වැදගත් වනු ඇති.
මෙසේ නිර්මාණාත්මක ආර්කිටෙක්චරල් ගමනක් යන අතරේ ජෙෆ්රි තවත් වැදගත් දෙයක් ඉටු කළා. ඒ තමයි තමන්ගෙ නිර්මාණ වටා විවිධ කලා ක්ෂේත්රවල දක්ෂයන් කීප දෙනෙක් එකතුකිරීම. ඊනා ද සිල්වාගේ බතික් නිර්මාණ, බාබරා සන්සෝනිගේ රූප සටහන්, ලකී සේනානායකගේ මූර්ති සහ චිත්ර, ඉස්මත් රහීම්ගේ චිත්ර, අනුර රත්නවිභූෂණගේ නිර්මාණ වගේ නිර්මාණවලට තමන්ගේ වාස්තු නිර්මාණවල ඉඩකඩ වෙන්කිරීමෙන් ජෙෆ්රි නව කලා වෙළඳ තොටුපළක් බිහිකරන්න මූලික වුණා. ඒ වෙළඳපොළ වර්තමාන බෙයාෆුට්, පැරඩයිස් රෝඩ්, මාතලේ හෙරිටේජ් සෙන්ටර් වගේ විදේශීය වෙළඳපොළ දක්වාම යන සම්ප්රදායකට මුල පිරුවා.
ඔය අතරෙදිම ඒ දැවැන්ත බාවා සෙවණැල්ල නිසා ඊට සමකාලීන විශිෂ්ට ආර්කිටෙක්ට්ස්ලා වුණු මිනෙට් ද සිල්වා, වැලන්ටයින් ගුණසේකර, පනිනි තෙන්නකෝන්, උල්රික් ප්ලෙස්නර් වගේ නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණ යම් දුරකට නොපෙනී ගියා කියන එකත් නොකිය වුණොත් මේ ලිපිය සම්පූර්ණ නැහැ. ඒ වගේම බාවා සම්ප්රදාය විසින් සහමුලින්ම නතු කරගත් ඊට පසු බිහි වූ වාස්තු විද්යා කුලකය ඒ ආභාසය ඇසුරින් හෝ ඒ ආභාසය නොමැතිව ඊට එහා වෙනත් පිම්මක් වෙත රැගෙන යාමට වර්තමාන තරුණ ආර්කිටෙක්ට්ලාටත් වගකීමක් තිබෙනවා. ලංකාවේ නම මේ කොදෙව්වන් පිටතට ගෙන ගිය අපූරු වාස්තුවිද්යඥයා ජෙෆ්රි බාවා මහතාට අපට දැක්විය හැකි උපරිම කෘතගුණය එය බවයි මගේ අදහස.
©සුමුදු අතුකෝරල [23/03/2021]
Comments
Post a Comment