Archi චැට් (දහතුන) ආර්කිටෙක්ට් කෙනෙකුට ගොඩනැගිලි නිර්මාණ කර්තව්යයක් බාරදිය යුත්තේ ඇයි? (දෙවෙනි කොටස)
Archi චැට් (දහතුන)
ආර්කිටෙක්ට් කෙනෙකුට ගොඩනැගිලි නිර්මාණ කර්තව්යයක් බාරදිය යුත්තේ ඇයි? (දෙවෙනි කොටස)
මේ ලිපිය මීට කලින් ලියපු Archi චැට් දොළොස් වැන්නේම දිගුවක්. ඒක කියෙව්වෙ නැත්නම්, ඒක කියවලා මේක කියෙව්වොත් තමයි වටින්නේ.
ඉදිකිරීම් කාර්යයක ප්රධාන ප්රායෝගික අවධිය පටන් ගන්නේ ඒ නිර්මාණය කරපු ආර්කිටෙක්චරල් නිර්මාණය රජයේ ආයතනවලින් අනුමත කරගෙන එහි ඉදිකිරීම් ආරම්භ කිරීමට සැලසුම් කරද්දියි. එහෙම නගර සභාවෙන්, ප්රාදේශීය සභාවෙන් අනුමත කරගන්න සැලැස්ම ඒ විදිහටම මේසන්වරයෙකුට හරි කොන්ත්රාත් කරන කෙනෙකුට හරි දීලා ගොඩනැගිල්ල ඉදිකිරීම එච්චර නුවණැති වැඩක් නෙමෙයි. ඒත් ආර්කිටෙක්ට් කෙනෙක් සම්බන්ධ නොවන අවස්ථාවලදී බොහෝ විට වෙන්නේ එහෙම තමයි. ඉදිකිරීම කරන්න වෙනමම සියලුම ඉදිකිරීම් විස්තර සහිත Construction Drawings, Working Drawings නැත්නම් Good for Construction වශයෙන් හඳුන්වන Drawings Set එකක් නැත්නම් සැලසුම් ගොනුවක් සහිතව තමයි අපි කොන්ත්රාත්කරුවෙකු හෝ මේසන්වරයෙකු වෙත යායුතු වෙන්නේ. අන්න ඒ සැලසුම් ගොනුවට ගොඩනැගිල්ලක පාදමේ සිට එහි නිමාව, වර්ණ ගැන්වීම ගැන පවා විස්තර ඇතුළත්. මේ Drawing Set එක ආර්කිටෙක්ට් කෙනෙක් අනිවාර්යයෙන්ම ඔබට ලබාදෙනවා. ඇතැම් විට මේ සියලුම දෑ එකවර ඔබ අතට නොලැබෙනවා වෙන්න පුළුවන්. ඉදිකිරීම සිදුවන ආකාරය අනුව කොටස් වශයෙන් අවශ්ය අවස්ථාවලදී ඒ සැලසුම් ලබාගැනීමෙහිත් වරදක් නෑ.
එම සැලසුම් ගොනුවට අඩංගු වන සවිස්තර සහිත Drawings මොනවාද යන්න ගැන පහදා ගැනීමට පෙර තවත් ඉතාම වැදගත් කරුණක් ගැන අවබෝධ කරගෙන සිටිමු. අපි ඉහත ලිපි දෙකක කතාබහ කළ ආකාරයට ඉදිකිරීම් ක්රියාවලිය තුළදී අප සේවය ලබාගත යුතු තවත් ප්රධාන වෘත්තිකයින් දෙදෙනෙක් සිටිනවා. ඒ ව්යුහමය ඉංජිනේරුවරයෙකුගේ (Structural Engineer) සහ ප්රමාණ සමීක්ෂකයෙකුගේ (Quantity Surveyor) සේවයයි. මෙහිදී ආර්කිටෙක්ට් විසින් ලබාදෙන සැලසුම් පදනම් කරගෙන ඔවුන් තම සේවය ලබාදෙන අතර, එම ක්රියාවලිය සම්බන්ධීකරණය සිදුවන්නේ ආර්කිටෙක්ට්ගේ මූලිකත්වයෙන්. ඔවුන්ගෙන් ලැබෙන Details සහ BOQ එක සහිතව තමයි අපි කොන්ත්රාත්කරුවෙකු තෝරා ගැනීමේ පියවර වෙත යා යුත්තේ. එය සාමාන්යයෙන් අපි හඳුනන ටෙන්ඩර් එකක් වෙන්නත් පුළුවන් නැත්නම් අප තෝරාගත් කොන්ත්රාත්කරුවෙකු හෝ කිහිපදෙනෙකු ගෙන් වියදම් ඇතුළත් නැත්නම් Priced BOQ එකක් ලබාගෙන සුදුසු කෙනෙකුට එම ඉදිකිරීම බාරදෙන්න පුළුවන්.
නැවත අපි Architectural Construction Drawings වෙතට හැරෙමු. එම ගොනුවට ඇතුළත් වන විවිධ සැලසුම් සහ විස්තර එකින් එක මෙලෙස පෙළගස්වන්න පුළුවන්.
1. List of drawings ( ඇතුළත් වන සැලසුම්වල ලයිස්තුව)
2). Setting out Drawing ( ගොඩනැගිල්ලක් ඉදිකිරීමට පෙර නූල් ඇදීම සිදුකළ යුත්තේ මේ සැලසුම පාදක කරගෙනයි. ඉඩමෙහි මායිම්වලින් අවශ්ය දුරවල් තබා, මුළු පෙම් ඇර නිවැරදිව නූල් ඇද, කණු සහ බිත්ති ලකුණු කරගැනීම ඉතාම වැදගත්.)
3). Architectural Plans ( ගොඩනැගිල්ලට අදාළ සියලුම මහල්වල පැහැදිලි සැලසුම්. Grid lines නැත්නම් මධ්ය රේඛා සහ දුරවල් පැහැදිලිව තිබීම ඉතාම වැදගත්.)
4). Sectional Drawings ( ගොඩනැගිල්ලක හරස් සහ දිග අතට කපා බලන ජ්යාමිතික රූප සටහන්. අවම වශයෙන් දෙකක් තිබිය යුතු අතර ගොඩනැගිල්ලක සියලුම උසවල් එහි අඩංගු විය යුතුයි.)
5). Elevation Drawings (ඉදිරි, පසුපස සහ පැති පෙනුම් සහිත ජ්යාමිතික රූප සටහන්)
6). Finishes schedule/ Plan (ගොඩනැගිල්ලක පොළව සහ බිත්තිවල නිමාවන් පිළිබඳ විස්තර)
7). Architectural Electrical Layouts (සියලුම විදුලි බුබුළු, ප්ලග් සහ විදුලි ස්විචයන් පිළිබඳ විස්තර)

9).. Door and Window Details And schedule (දොර, ජනෙල් සාදා ගැනීම සහ සවිකිරීම සඳහා අවශ්ය සැලසුම් සහ විස්තර)
10). Staircase and Handrail Details (පඩිපෙළ සහ අත්වැට ඉදිකිරීම සඳහා අවශ්ය රූප සටහන් සහ විස්තර)
11). Tile Layouts ( ටයිල් ඇල්ලීම සඳහා අවශ්ය සැලසුම්)
12). Roof Details (වහලය ඉදිකිරීම සඳහා අවශ්ය විස්තර, පරාල, රීප්ප ප්රමාණ සහ පරතර දුරවල්)
13).. Ceiling Details and Ceiling Plan (සිවිලිම සඳහා අවශ්ය විස්තර)
14). විදුලි ලාම්පු, නානකාමරවල අංගෝපාංග ගැන විස්තර සහ වගු
15). Colour Scheme (වර්ණ සංකලනය)
මේ වගේ පරිපූර්ණ සැලසුම්, රූප සටහන් සහ සවිස්තර ආර්කිටෙක්ට් කෙනෙක් විසින් සපයන Construction Drawings ගොනුවට ඇතුළත්. මේ සියලුම දේ ඉදිකිරීමට පෙර හෝ ඊට සමාන්තරව භාවිත කිරීම මගින් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී වෙන්න පුළුවන් අක්රමිකතා, අඩුපාඩු සියල්ලම මග අරවා ගන්න පුළුවන්. ඒ වගේම කාලය සහ වියදම ඉතිරිකරගන්නත් පුළුවන්.
ඉහත ගොනුවෙනුත් එපිට Landscape Ideas නැත්නම් උද්යාන නිර්මාණකරණය සහ ගෘහභාණ්ඩ සහ අනෙකුත් අභ්යන්තර නිර්මාණ අංග ගැන උපදෙස් සහ සවිස්තර ලබාදීම දක්වාම ආර්කිටෙක්ට් කෙනෙක් ඔබත් සමග කටයුතු කරනවා.
සාමාන්යයෙන් ඕනෑම ඉදිකිරීමක් කරගෙන යන අතරෙ Unforseen නැත්නම් මුලදි දැනුවත්ව නොහිටි ප්රශ්න එන්න පුළුවන්. ගොඩනැගිලි සැලසුම ඉඩමෙ දිග පළල එක්ක වෙනස් වෙන්න පුළුවන්. ඉඩමෙ යට තියෙන ගල් හෝ ගස් අනුව පිහිටුවීම වෙනස් කරන්න වෙන්න පුළුවන්. හදාගෙන යන අතරෙ ගොඩනැගිල්ල වෙනස් කරන්න අවශ්ය වෙන්න පුළුවන්. ඒ වගේම කොන්ත්රාත්කරු විසින් නිවැරදිව සහ නියම ප්රමිතියකට අනුව ඉදිකිරීම් කටයුතු කරනවාද යන්න ගැන පරීක්ෂාවෙන් සිටීමත් වැදගත්. ඔය අතරේ අපි ඉදිකිරීම නිමකරන්න බලාපොරොත්තු වෙන කාලයට අනුරූපව එදිනෙදා ඉදිකිරීම් සිදුවෙනවාද යන්න ගැනත් අවධානයෙන් සිටිය යුතුයි. එහෙම නොවෙනවා නම් ඊට හේතු සොයාබලා ඒ පිළිබඳව කොන්ත්රාත්කරු දැනුවත් කළ යුතුයි.
මෙන්න මේ වගේ දේවල් බොහෝමයක් ඉදිකිරීම් කටයුතු කරගෙන යන අතරෙ සිදුවිය යුතුයි. ඒ සියලුම අවස්ථාවලදි මූලිකත්වය ගත යුත්තේ ආර්කිටෙක්ට් විසින්. එම නිසා ඉදිකිරීම සිදුවන අතරේ නියමිත කාල පරාසයන්ට අනුව වැඩබිම පරීක්ෂා කිරීම ආර්කිටෙක්ට්ගේ වගකීමක්. Periodic Site Supervision නැත්නම් Site Visit කියලා අපි සාමාන්යයෙන් හඳුන්වන්නේ ඔන්න ඔය කටයුත්තයි. ඉදිකිරීම සිදුවන ගොඩනැගිල්ලේ නිර්මාණ සැලසුම ගැන ඉතා හොඳ අවබෝධයකින් යුතුව සහ ඉදිකිරීම් ක්රියාවලිය ගැන පුළුල් අත්දැකීම් ඇතිව සිටින ආර්කිටෙක්ට් කෙනෙක් එහිදී සිදුවන අක්රමිකතා නිවැරදි කර උසස් ප්රමිතියකින් ගොඩනැගිලි ඉදිකිරීම සම්පූර්ණ කරගැනීමට ඔබට සහය වනු නියතයි.
© සුමුදු අතුකෝරල [28/04/2021]
Comments
Post a Comment