Archi චැට් (දොළහ) ආර්කිටෙක්ට් කෙනෙකුට ගොඩනැගිලි නිර්මාණ කර්තව්‍යයක් භාරදිය යුත්තේ ඇයි?

Archi චැට් (දොළහ)
ආර්කිටෙක්ට් කෙනෙකුට ගොඩනැගිලි නිර්මාණ කර්තව්යයක් භාරදිය යුත්තේ ඇයි?
නිවසක් හෝ වෙනයම් ගොඩනැගිල්ලක් වරලත් වාස්තු විද්යාඥයෙක් නැත්නම් Chartered Architect කෙනෙකු ලවාම නිර්මාණය කරගත යුත්තේ ඇයි කියන ප්රශ්නය සමාජයේ නිතර කතාබහට ලක්වෙන්නක්. ලංකාව ඇතුළේ ඉදිකරන සෑම ගොඩනැගිල්ලක් නෑරම ආර්කිටෙක්ට් කෙනෙක් අතින් නිර්මාණය වෙන්න අවශ්ය තත්වයක් නෑ. ඒ ඉල්ලුමට සැපයුම සලසන්න පුළුවන් මට්ටමක ආර්කිටෙක්ට්ලා ප්රමාණයක් ලංකාවෙ දැනට නැහැ. ඒ වගේම ආර්කිටෙක්ට්ලා බොහොමයක් දෙනා තමන්ගේ සේවාව සපයන්නේ ප්රධාන නගර ආශ්රිතව විතරයි. කොළඹ, ගම්පහ, ගාල්ල, නුවර, කුරුණෑගල වගේ වැඩි වාණිජ කාර්යබහුලත්වයක් තියෙන සෑම නගරයකම ආර්කිටෙක්ට්ලා වැඩකරනවා. ඒත් එතනින් එහා සීමාවල ඉදිවෙන ගෙවල් සහ කුඩා ප්රමාණයේ ගොඩනැගිලි බොහෝ විට ආර්කිටෙක්ට්ලා අතින් නිර්මාණය වෙන ඒවා නෙමෙයි. ඒකෙ වරදක් නැහැ. නමුත් සෑම ගොඩනැගිල්ලක්ම නිර්මාණය වියයුතු නිවැරදි ක්රමවේදයක්, වගකීමක් සහ සුරක්ෂිතභාවයක් තිබිය යුතුමයි.




"ප්ලෑනක් ඇඳගන්නවා" කියන ඉතාම සරල අර්ථයෙන් තමයි ඔය වගේ හුඟක් ගොඩනැගිලි නිර්මාණය වෙන්නේ. ප්ලෑනක් අඳින්න ඕනේ කෙනෙකුට පුළුවන්. ඒක මහ දෙයක් නෙමෙයි. ඒත් ආර්කිටෙක්චර් කියන්නේ ප්ලෑනකට වඩා ගව් ගාණක් එහාට දියුණු වුණු වෘත්තීයමය ක්රියාවලියක්. ආර්කිටෙක්චර් නිරතුරුවම රටක සමාජ ආර්ථික මට්ටම, සංස්කෘතිය වගේම රසඥතාව සමගත් බැඳී පවතින්නක්. රටක් විදිහට රූපවාහිනී සහ රේඩියෝ නාලිකා පදනම් කරගෙන තියෙන රසඥතා මට්ටමම ලංකාවේ හුඟක් තැන්වල තියෙන ආර්කිටෙක්චර් වියමන දිහා බැලුවමත් පේනවා. ඒකට අපි හැමෝම වගකිව යුතුයි. ඒ රසඥතාව ටිකෙන් ටික දියුණු කරන්න ආර්කිටෙක්ට්ලට, නැත්නම් හොඳ ආර්කිටෙක්චර්වලට පුළුවන්.
කෙනෙක් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට බලාපොරොත්තු වන විට ඔවුන් සතුව ඉඩමක් තිබෙන්න පුළුවන්, නැත්නම් සුදුසු ඉඩමක් මිලදී ගැනීමට සූදානමින් සිටිනවා වෙන්නත් පුළුවන්. ඔබ මේ අවස්ථා දෙකෙන් කුමක සිටියත් ඔබට වරලත් වාස්තු විද්යාඥයෙකු සම්බන්ධ කරගැනීමට කාලය එයයි. ඔබ මිලදී ගැනීමට තෝරාගත් ඉඩමක් හෝ ඉඩම් කිහිපයක් නිරීක්ෂණය කර ඒ පිළිබඳ නිර්ණායකයක් ලබාදීමට ඔබේ ආර්කිටෙක්ට් කටයුතු කරනු ඇති. එමගින් ඔබ ඉදිකිරීමට අදහස් කරන ගොඩනැගිල්ලට ගැළපෙනම ඉඩම ඔබට නිවැරදිව තීරණය කරගත හැකියි. ඔබ සතුව දැනටමත් ඉඩමක් තිබෙනවා නම් ඔබගේ ආර්කිටෙක්ට් විසින් මුලින්ම එම ඉඩම නිරීක්ෂණය කරනු ලබනවා. ඉන්පසු ඔබ සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඔබ ඉදිකිරීමට සිතන නිවසේ හෝ ගොඩනැගිල්ලේ ඔබට අවශ්ය දෑ සහ ඔබගේ පවුලේ අය ගැන, ඔබට ඉතාම ගැළපෙන ගොඩනැගිල්ල කුමන ආකාරයේ එකක් විය යුතුද යන්න ගැන පැහැදිලි අවබෝධයක් ලබාගන්නවා. ඔබ සම්පූර්ණයෙන්ම ගොඩනැගිල්ල එකවර සදා නිම කිරීමට බලාපොරොත්තු වෙනවාද, නැත්නම් කොටස් වශයෙන් ඉදිකිරීම කළ යුතුද, ඔබට ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වැය කළ හැකි පිරිවැය යනාදිය විවෘතව ආර්කිටෙක්ට් සමග සාකච්ඡා කිරීම හැම දෙයක්ම සරල කරනු ඇති.
එම මූලික කතාබහ අතරතුරදී හෝ ඉන් පසුව ආර්කිටෙක්ට් කෙනෙක් Architectural brief නැත්නම් ගොඩනැගිල්ලේ අවශ්යතා පෙළක් ඉදිරිපත් කරනවා. එය හැමවිටම ලියවිල්ලක්ම විය යුතු නැහැ. ඒත් දෙපාර්ශවයම ඒ අවශ්යතා ගොනුවට එකඟ වීම වැදගත්. නිවසක් නම්, එහි තිබිය යුතු කාමර ගණන, නානකාමර ගණන, අනෙකුත් අවශ්යතා, ගොඩනැගිල්ලේ මහල් ගණන, දළ ගෙබිම් ප්රමාණය, දළ වශයෙන් එහි පිරිවැය, ගොඩනැගිල්ල ඉදිකිරීමට යා හැකි කාලය යනාදී කරුණු ගැන එකඟතාවකට පැමිණීම ඉතාම වැදගත්.
මේ සියලුම දේ පදනම් කරගෙන ඔබගේ ආර්කිටෙක්ට් විසින් ඔබට මූලික නිර්මාණ සැලැස්මක් නැත්නම් Schematic Design එකක් ඉදිරිපත් කරනවා. මේ Schematic Design Proposal එක ඉදිරිපත් කරන විදිහ එක එක ආර්කිටෙක්ට අනුව වෙනස් වෙන්න පුළුවන්. මේකෙ අරමුණ තමයි මූලික ගොඩනැගිලි නිර්මාණයට ඔබ එකඟ කර ගැනීම. සාමාන්යයෙන් ගොඩනැගිල්ලේ සැලසුම් නැත්නම් Plans ටික, ඉදිරිපස සහ පැති පෙනුම නැත්නම් Elevations, හරස් කැපුමක් හෝ දෙකක් නැත්නම් Sections සහ ඇතැම් විට ගොඩනැගිල්ලේ දළ ත්රිමාණ පෙනුම හෝ අතින් අඳින Perspective සටහනක් වැනි දේ මේ Schematic Design Proposal එකට ඇතුළත්. ගොඩනැගිලි නිර්මාණ ක්රියාවලියේ ඉතාම වැදගත් අවස්ථාවක් තමයි මේක. මෙතනදි ආර්කිටෙක්ට්ට හැකි උපරිම නිදහස ලබා දීම ඔබට විශිෂ්ට නිර්මාණයක් ලබා ගැනීමට උපකාර වනු නියතයි. සමහර ආර්කිටෙක්ට්ස් ලා මේ Schematic Design එකට කලින් සංකල්පමය නිර්මාණයක් ඉදිරිපත් කරනවා, ඒ කියන්නේ Conceptual Design Proposal එකක්. ඒ මගින් ගොඩනැගිල්ලේ සංකල්පය, මූලික අදහස වගේ දේවල් වලට දෙපාර්ශවයම එකඟ වෙලා ඊට පස්සේ Schematic Design එකට යන එකත් ඉතාම හොඳ ක්රමයක්.
"Why do you hire an architect and tell him what to do?"
("ඇයි ඔබ ඔබේ ආර්කිටෙක්ට්ට මුදල් ගෙවලා, ඔහුට හෝ ඇයට එය කරන විදිහ කියන්නේ?")
මේක ඉතාම වටින කියමනක්. ඔබ මුදල් ගෙවා ලබාගන්නා සේවාවක් නම් ඇයි ඒ මුදල් ලබන්නා කළ යුතු රාජකාරිය ඔබ විසින්ම කරන්නේ? ඒ මුදලට අවශ්ය වටිනාකම ලබා ගැනීම සඳහා ඒ නිර්මාණ කාර්යය ඔබේ වාස්තු විද්යාඥයාට ලබාදෙන්න. ඒ වෙනුවෙන් ඔබ මහන්සි වෙන්න එපා. අනිත් එක ඒ මූලික නිර්මාණය සඳහා ආර්කිටෙක්ට්ට අවශ්ය නිර්මාණාත්මක නිදහස නොදී ඒ නිර්මාණශීලී බව අවුල් කළොත්, ඔහුට හෝ ඇයට අනවශ්ය පීඩනයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ නිර්මාණ ක්රියාවලිය ආර්කිටෙක්ට්ට නිදහසේ කරන්න දීමෙන් උපරිම වාසිය ලැබෙන්නේ ඔබටමයි. ඔබ මුලින් ඔබේ අවශ්යතාව හොඳින් සාකච්ඡා කර තිබෙන නිසා සහ ආර්කිටෙක්ට් විසින් ඒ ගැන හොඳ අවබෝධයක් ලබාගෙන ඇති නිසාත් ඔබට ගැළපෙනම ගොඩනැගිල්ල නිර්මාණය කිරීමට මේ වෙන විට ඔහුට හෝ ඇයට පුළුවන්.
ඉතිං ඔය Schematic Design එකත් එක්ක දීර්ඝ වශයෙන් කතා කරලා එහි ඔබ කැමති අකමැති දෑ විවෘතව කතාකරලා ඊළඟ පියවර, ඒ කියන්නේ Design Development නැත්නම් නිර්මාණ සැලසුම තවත් ඉදිරියට වර්ධනය කරන්න ආර්කිටෙක්ට්ට අවස්ථාව දෙන්න. මෙතනදී ඔබ වාස්තු හෝ ජෝතිෂ්යය ගැන කරදර වෙනවා නම් ඒ අදහස් ටිකත් ඉදිරිපත් කිරීම වැදගත්. හැබැයි ඉතිං ඉවක් වහක් නැතුව ඕවා පස්සේ ගියොත් නම් අර ලස්සන Design ඔක්කොම කැලේ. ඒත් හොඳ ආර්කිටෙක්ට් කෙනෙක් ඔබේ ඒ විශ්වාසවලටත් ගරු කරනු ඇති. ඒත් ඒ විශ්වාසවලට නිර්මාණයේ තියෙන ලස්සන සහ භාවිතමය ගුණාංග විනාශ කරන්න දෙන්නත් එපා.
බොහෝ විට සිදුවෙනවා වගේ දෙපාර්ශ්වයම එක් මූලික සැලසුමට එකඟ නම් කාලය ගොඩක් ඉතුරු කරගෙන ඊටත් එහා පියවර වෙන මේ ගොඩනැගිලි සැලසුම රජයේ ආයතනවලින්, නගර සභාවෙන් හෝ ප්රාදේශීය සභාවෙන් අනුමත කරගැනීම සඳහා අවශ්ය සැලසුම් සහ සවිස්තර ආර්කිටෙක්ට් විසින් ලබාදෙනවා. මෙතනදි අපි ඉහත Archi චැට් එකක කතා කළා වගේ ගොඩනැගිල්ලක් ඒ ඒ ආයතනවලින් අනුමත කරගන්න අවශ්ය කරන නීති රීතිවලට අනුව සැලසුම් නිර්මාණය කරන්න ආර්කිටෙක්ට් ඉතාම පරිස්සම් වෙනවා. ස්වාභාවික ආලෝකය, වාතාශ්රය වගේම පාරවල් සහ අනෙකුත් දේවල සිට තැබිය යුතු දුර ප්රමාණ වගේම තවත් බොහෝ දේවල් පිළිබඳ නිවැරදි දැනුමකින් තමයි ආර්කිටෙක්ට් කෙනෙක් මේ සැලසුම් නිර්මාණය කරන්නේ. ඒ නීති රීතිවලට අනුකූලව ගොඩනැගිල්ල නිර්මාණය වෙලා තියෙනවා නම් කිසිම කරදරයක් නැතුව ඒ සැලැස්ම අනුමත කරගන්න පුළුවන්. ඔතනදි විවිධ අක්රමිකතාවලින් ඒ ආයතනවල ඇතැම් අය ඔබෙන් අනවශ්ය ලෙස මුදල් හෝ වෙනත් වාසි ලබාගන්න උත්සාහ කරන අවස්ථාත් තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී ඒ අය පෙන්නන අඩුපාඩු ඇත්තටම අඩුපාඩුද නැත්නම් ඔබව රවට්ටන්න කරන දේවල්ද කියලත් ඔබට ආකිටෙක්ට්ට කතාකරලා දැනගන්න පුළුවන්. එහෙම ඇත්තටම තියෙන අඩුපාඩුවක් නම්, ආකිටෙක්ට් එය නිවැරදි කරලා ඉක්මනින් ඔබට නැවත සැලැස්මක් ලබාදීමටත් බැඳිලා ඉන්නවා. කිසිම ආර්කිටෙක්ට් කෙනෙක් මේ වගේ වෙලාවක ඔබ අපහසුතාවට පත් කරලා බලාගෙන ඉන්නේ නෑ. මේ හැම වෙලේම ඔබත් සමග ඉන්නවා.
මෙතනින් පස්සේ තියෙන්නේ ඉදිකිරීම සඳහා අවශ්ය සවිස්තර සැලසුම් නිර්මාණය සහ ව්යූහමය ඉංජිනේරුවන් සහ ප්රමාණ සමීක්ෂකයන් සමග ඒ අවශ්ය දේ සූදානම් කරගැනීම. මෙහිදීත් විශාලම කාර්ය භාරය තියෙන්නෙ ආර්කිටෙක්ට්ට තමයි. අපි මෙතනින් ඉදිරි පියවර ගැන ඊළඟ Archi චැට් එකෙන් කතා කරමු.
© සුමුදු අතුකෝරල [20/04/2021]

Comments

Popular posts from this blog

Archi චැට් (විස්ස) - ඉර එළිය සහ ආර්කිටෙක්චර්

Archi චැට් (විසි තුන) වැස්ස සහ ආර්කිටෙක්චර්

Archi චැට් (විසි එක)   මඳ පවන සහ ආර්කිටෙක්චර්